“සතුට යනු: නිරතුරුවම හෙට දවස, ඊළඟ මාසය හෝ වසර ගැන දෑස් දල්වා බලා සිටීම නොවේ. එමෙන්ම සතුට යනු: දෑත විදහා, එළඹෙන හැම දිනයක්ම අතීතයට එක් වීම වැළකීමට ගන්නා උත්සාහයද නොවේ.”
මේ, යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’ නම් කෙටිකතා පොතෙන් උපුටා ගත් කොටසකි. මේ ලේඛිකාවගේ නිර්මාණ කියවද්දී පාඨකයා නිසොල්මන් කරවන, කියවූ දේ ගැන යළි යළිත් සිතන්න පොලඹවන මෙවැනි වැකි නිරතුරුව මුණගැසේ.
යීයුන් ලී 1972 දී චීනයේදී උපන් කතුවරියකි. ඈ සිය රටේදී හිමි කරගත් ප්‍රථම උපාධියෙන් අනතුරුව අමෙරිකාවේදී විද්‍යා ක්ෂේත්‍රයෙන් පශ්චාද් උපාධියක් සම්පූර්ණ කර තිබේ. ඉනික්බිති ඊට හාත්පසින්ම වෙනස් මඟක් ඔස්සේ යමින් ඈ අමෙරිකාවේ අයෝවා සරසවියෙන් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳවත් පශ්චාත් උපාධියක් ද සම්පූර්ණ කළ බව සඳහන් වේ. පසුකාලීනව තම විද්‍යා අධ්‍යාපන පසුබිම පසෙක ලූ ඈ අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේත්, ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේත් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳව ආචාර්ය ධුර හොබවා තිබේ.
2024දී ප්‍රකාශයට පත් වූ යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’ නම් කෙටිකතා පොත කෙටිකතා එකොළහකින් සමන්විත ය. මේ කතාවල තේමා එකිනෙකට හාත්පසින්ම වෙනස් වීම නිසා පාඨකයා ඊට නිරායාසයෙන් ආසක්ත වීම වැළක්විය නොහැකිය. උදාහරණයක් ලෙස: මෙහි ඇතුළත් ‘අ ශෙල්ටර්ඩ් වුමන්’ කෙටිකතාව අලුත උපන් බිලිඳුන් කෙටි කාලයකට රැක බලාගැනීම තම රැකියාව වූ අවිවාහක මැදිවයසේ කාන්තාවක ගැන ගෙතුණු එකකි. මතුපිටින් පෙනෙන දිනචර්යාවක විස්තරවලට යටින් ඒ කතාවේ පෙනී නොපෙනී පාඨකගේ සිත පාරවන්නේ ලෝකයේ කොයි රටකත් ගැහැනුන්ට උරුම වුණු අහිමිවීම්, හැරදා යෑම්, ප්‍රසවය හා බැඳුණු විශාදය වැනි වේදනාත්මක කාරණාය.
“තමන්ගේ ජීවිතයට මිතුරකු තරම් හද බැඳ ගැනීමට හතුරකුට හැකි බවත්, වෛරයක් නිසා දෙදෙනකුට සහෝදර බැම්මක් තරම් බැඳීමක් ඇති වන බවත් ඈ දැන සිටියාය. ජීවිතයට හමු වන හැම කෙනකුම අමුත්තකු ලෙස සලකා කටයුතු කළ හැකි අය වාසනාවන්තයෝ ය.” (- අ ශෙල්ටර්ඩ් වුමන්)
‘වෙන් වී වර් හැපි, වී හැඩ් අදර් නේම්ස්’ මේ කෙටිකතා එකතුවේ ඇති තවත් කතාවකි. යොවුන් දරුවකුගේ දිවි නසාගැනීමකින් අනතුරුව ඔහුගේ මවුපියන් ජීවිතයට මුහුණදීමට වැර දරන අයුරු ඊට පාදක වී තිබේ. හද බිඳී තිබියදී නොවෙනස්ව කැරකෙන ලෝකයට අනුගතව දිවි ගෙවීමේ දුෂ්කර බව ඔවුන්ට දැනෙන අයුරින්ම පාඨකයාටද දැනෙන්න සැලැස්වීම ලීගේ ලිවීමේ දස්කමයි.
“ඇතැම් දිනවලදී ජියායු තම නිවෙස වෙත පැමිණ, එය ඉදිරිපස තම රථය නවත්වා ගරාජයේ දොර විවර කරන බොත්තම ඔබනු නොහැකිව අකර්මණ්‍යව සිටින්නීය. තවත් දිනවල ඈ වෙහෙස නොතකා, නොකඩවා නිවෙස පිරිසුදු කළාය; එළවළු කපන ලෑල්ල මත කඳුළින් පෙඟුණු ලූනු ගොඩක් පමණක් ඉතිරි වන තුරු උමතුවෙන් මෙන් ලූනු කැපුවාය. මේ කිසි දෙයක් මෙලෙස සිදු වීමට හේතු ඈ ප්‍රශ්න කළේ නැත. උමතු බවක් පෙනුණු හෝ නොපෙනුණු මේ ඕනෑම ක්‍රියාවක් අයත් වූයේ ශෝකය නම් නිර්වචනයටයි.” (- වෙන් වී වර් හැපි, වී හැඩ් අදර් නේම්ස්)
මේ ලෙස නිර්මාණ ඇසුරෙන් පාඨකගේ සිත් ඇද බැඳ ගත් යීයුන් ලී, තම ජීවිතයේත් මහත් සේ හැලහැප්පීම්වලට ලක් වුණු තැනැත්තියකි. ඈ එක්තරා කාල වකවානුවකදී තදබලව මානසික අවපාතයට ලක් ව සිටියාය. ඇයගේ විශේෂත්වය නම් ඒ අත්දැකීම් ගැන තම නිර්මාණ මඟින් විවෘතව කතා කිරීමයි. ඉහත සඳහන් ‘වෙන් වී වර් හැපි, වී හැඩ් අදර් නේම්ස්’ කෙටිකතාවත් ඈ 2019 දී ලියූ ‘වෙයා රීසන්ස් එන්ඩ්’ නවකතාවත් ඇයගේ දරුවකු දිවි නසාගැනීමේ වේදනාව නිසා උපන් නිර්මාණ බව සඳහනි. මීට අමතරව, ලී 2017දී ලියූ ‘මයි ෆ්‍රෙන්ඩ්’ නම් ස්වයං අපදානය ඈ මනසින් සුවපත් වීමේ චාරිකාව ගැන ලියවුණු කෘතියකි.
චීනයේ ගෙවූ ජීවිතයෙන් ලද අත්දැකීම්වලින් පෝෂණය වී, අමෙරිකාවේ අත්දැකීම්වලින් හැඩ වැඩ වුණු ලී ගේ නිර්මාණ, කියවන්නාට අලුතින් ජීවිතය දකින්න මඟ කියයි. ඇයගේ බොහෝ කෙටිකතාවල ප්‍රධාන චරිත, ඈ මෙන්ම චීනයෙන් අමෙරිකාවට සංක්‍රමණය වූ අයයි. මෙවැනි සංක්‍රමණිකයන් තම උපන් රටටවත්, පදිංචි රටටවත් සම්පූර්ණයෙන්ම මනසින් අයත් නොවී ගෙවන දෙබිඩි ජීවිතය ඈ තම නිර්මාණවලදී මනා ලෙස හුවා දක්වන්නීය. මේ කෙටිකතා එකතුවේ ‘අලෝන්’ නම් කෙටිකතාවේ ප්‍රධාන චරිතයත් මෙවැන්නියකි. තම ජීවිතයේ හිමිවීම් සහ අහිමිවීම්වල මූලයන් තේරුම්ගන්න වෙහෙසෙන ඈ, අපටද හුරු පුරුදු චරිතයකි.
“ජීවිතයත් මරණයත් අතර දේශ සීමාවේ අමතක වීම නම් නදියක් ඇති බව ජනකතාවල පැවසේ. එය හරහා ඇති පාලමක් මත සිහින මාතාව නම් කාන්තාවක් සිටින්නීය. ගඟ තරණය කරන සංචාරකයන්ට ඈ තේ බඳුනක් පිරිනමන්නීය. ඔබ මෙය පානය කළ පසු මරණයට යද්දී ජීවිතයේ මෙපිටින් ඇති සියලු දේ අමතක වී යනු ඇත.”
(- අලෝන්)
ස්වකීය නිර්මාණ වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනා ඇති මේ නිර්මාණකාරිය, 2023 දී විදෙස් ලේඛිකාවක ලෙස ලෝ ප්‍රකට ‘රෝයල් සොසයිටි ඔෆ් ලිටරිචර්’ සංගමයට තේරී පත් වී තිබේ. කෙටිකතාකරණයට අලුත් තේමා හඳුන්වා දෙන යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’ වැනි කෙටිකතා සංග්‍රහයන් පාඨකයාගේ පරිකල්පනය අලුත් මානයකට රැගෙන යන බව ඒකාන්තය.
හෙල්මලී ගුණතිලක
විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය
08.02.2025
අලුතින් පණ ගැන්වුණු සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහයට 'විදෙසක ලිවිසැරිය' නමින් තීරු ලිපියක් ලිවීමට මට ඇරයුම් කළ පුවත්පතේ උප කතෘ ජයත් පියදසුන් සොයුරාට මගේ ස්තූතිය හිමි වේ .
මේකේ පරිවර්තනයක් තියෙනවද කියල හෙම දන්නවද....? හැබෑම ආසයි කියවන්න. අනේ සුදු................ඔන්න ඔහේ එක එක පෙරලන්නකෝ....
ReplyDeleteමම දන්නා තරමට පරිවර්තනයක් නම් නෑ කුමුදු. මෙයාගේ කෙටිකතා මාර දිගයිනේ. ඔන්න ඕක තමා ප්‍රශ්නේ! :) එකක් මම පරිවර්තනය කළා මතකද?
Deletehttps://hotchocolatedays.blogspot.com/2021/12/blog-post_27.html
/“ජීවිතයත් මරණයත් අතර දේශ සීමාවේ අමතක වීම නම් නදියක් ඇති බව ජනකතාවල පැවසේ. එය හරහා ඇති පාලමක් මත සිහින මාතාව නම් කාන්තාවක් සිටින්නීය. ගඟ තරණය කරන සංචාරකයන්ට ඈ තේ බඳුනක් පිරිනමන්නීය. ඔබ මෙය පානය කළ පසු මරණයට යද්දී ජීවිතයේ මෙපිටින් ඇති සියලු දේ අමතක වී යනු ඇත.”/
ReplyDelete"ගොබ්ලින්" කියන්නේ ගොඩක් ජනප්‍රිය කොරියානු TV Series එකක්. ඔය තේ කතන්දරේ හරිම ලස්සනට ඒකෙ නිරුපනය වෙනවා. ටිකක් creepy ඒ වුනාට හරිම ලස්සන වෙනස් කතාවක්.
කුමුදු- මම කොරියන් කතා බලලාම නැහැ, ලස්සනයි කියලා නම් අහලා තියෙනවා. ට්‍රයි කරලා බලන්න ඕන වෙලාවක
Delete"ගොබ්ලින්" ලස්සන කතාව, "Meet Joe Black" එකේ තේමාවමයි.කොරියන් එක වෙනස් විදිහට, ඒත් ලස්සනට කරලා තියනවා.
Deleteබලාගෙන ගියාම මම විතරයිනේ ගොබ්ලින් බලලා නැත්තේ! කොන් නොවී වහාම බලන්න ඕන! :D
Deleteසිහින මාතාවනි තේ එපා කෝපි තමයි ඕනෙ, ට්‍රිපල්-ට්‍රිපල් ටිම් හෝර්ටන් නං වැඩියත් හොඳයි.
ReplyDeleteබස්සා ත් කොෆී ෆෑන් කෙනෙක් ද? කියන්න ලැජ්ජයි, මට නම් සෙට් වෙන්නේ නැති ජාතියක්. හොට් චොකලට් හෝ වැඩි කහට කිරි තේ නම් හා සිහින මාතාවනි!
Deleteඝර්ම කලාපයේ සහ වැලි කාන්තාරෙ ඉන්න කොට බිව්වෙ තේ. හිමේ ආවම නිකම්ම කෝපි වලට මාරු වුනා.
Deleteහරිම අගය ඇති කෙටිකතා ගොනුවක් . චීනයේ සාමාන්‍ය උපාධියක් ලබා ඇමෙරිකාවට ගොස් විද්‍යා ධාරාවට යොමුවී ඉංග්‍රීසි බසින් ව්‍යක්ත ලෙස සාහිත්‍යකරණයට යොමුවූ විරල ගණයේ ලේඛිකාවක් ලෙස යීවුන් ලී හැඳින්විය හැකියි . මෙහි ඇය තෝරාගෙන ඇති තේමා සම්පූර්ණයෙන්ම, පොදුවේ මිනිසා /ගැහැණිය විසින් හෙළිනොකර, සඟවාගෙන සිට මරණය දක්වාම ගෙනයනු ලබන ජීවිතයේ යතාර් ථයයි . මෙම සංවේදී සංකල්පනා ඉස්මතු කර දැක්වීම සඳහා ඉතාමත්ම ඉහළ ගණයේ ජීවිතාවබෝධයක් තිබිය යුතුමයි . ඔබගේ අගනා විමසුම මගින් ඒ සංකල්පනා පාඨකයාට ඉතා හොඳින් අවබෝධ කරදී තිබෙනවා . සුබ පැතුම් .
ReplyDeleteThank you තාත්තා, යියුන් තමන්ගේ ජීවිතේ මුහුණ දුන්නු හැල හැප්පිලි වලින් ඇගේ නිර්මාණ ඔප වැටිලා කියලා මට හිතෙනවා .
Deleteහරිම වටිනවා මේක! ලස්සන දේවල් දිගටම ලියමු! අර අලෝන් උපුටාගැනීම සෑහෙන්න හිතට වැදුණා!
ReplyDeleteThank you වර්ෂා! තව මේ වගේ කීපයක් මඟ එනවා :)
Deleteයියුන් ගේ කතන්දර වල ඒ වගේ කොටස් තියෙනවා. අපි ව මොහොතකට නවත්වන, කල්පනා කරන්න බල කරන කොටස්. ඉඩක් ලැබුනොත් ඇගේ කතා කියවලා බලන්න. කෙටිකතා කීපයක් ඔන්ලයින් තියෙනවා.
බස්සා කියලා තියෙනවා වගේ සිහින මාතාව අපේ චොයිස් එක දෙයිද. මමත් තේ බොන්නෙ නැති කෙනෙක්. හොට් චොක්ලට් නම් වැඩිය හොඳයි 😉.
ReplyDeleteඔන්න මම අපේ ලයිබ්‍රරි එකෙන් පොත සර්ච් කරලා reservation එකක් දැම්මා. බලමු කියවලා.
පෝස්ට් එක කියවද්දිම මට මතක් වුණා මේ ලේඛිකාවගෙ කතාවක් මලී කලින් පරිවර්තනය කලා නේද කියලා.
'විදෙසක ලිවිසැරිය' එතන ලිවිසැරිය කියන්නෙ literature නේද.
බලාගෙන ගියාම තේ නොබොන අය සෑහෙන්න ඉන්නවානේ, සිහින මාතාවට කැෆේ එකක් දාන්න වෙන හැඩයි ගඟ අද්දර :D
Deleteමගේ සටහනින් පෙළඹිලා පොත හොයාගත්ත එක ගැන සතුටුයි Lotus , ඒ කියන්නේ මේ සටහනේ අරමුණ සාර්ථකයි! කියවලා බලලා කියන්නකෝ මොකද හිතුණේ කියලා . මම A sheltered woman කෙටි (දිග)කතාව පරිවර්තනය කළා. උඩ කුමුදු ට දීපු reply එකේ link එක ඇති .
ලිවී සැරිය කියන්නේ ලිවීමේ චාරිකාව වගේ ද ? Literature වෙන්නත් පුළුවන්. නමක් යෝජනා කරන්න කියලා මගෙනුත් ඉල්ලුවා . අනේ ඒත් ඔය නම් දාන වැඩේ මට බැරි වැඩක්. මගේ ළමයට විතරයි මම නම දාලා තියෙන්නේ! :D
කාරුණිකව ප්‍රතික්ෂේප කළා ඒ නිසා . ඒ නිසා නමට මගේ සම්බන්ධයක් නෑ :)
ගලිවරගේ ලිවිසැරිය කියල නේද ටයි මහත්තයා කිව්වෙ? චාරිකාව වගේ තේරුමක් කියලයි ඉස්සෙල්ල හිතුන. ඒත් ගූගල් කිව්වෙ notebook කියලයි. ජර්නල් වෙන්ටෑ?
Deleteගලිවරගේ සුවිසැරිය නේද.........ඒ වගෙයි මතක
Deleteසූර වීර චාරිකාව කියලයි ඒ දවස්වල හිතාගත්තෙ
ලිවිසැරිය මොකෝ සුවිසැරිය මොකෝ නේද බස්සා? :D
Delete