Nothing Special   »   [go: up one dir, main page]

Monday, February 3, 2025

නිදහසෙන් පසු ලංකාවේ දියුණුව - අංශ කිහිපයක් පිළිබඳ විමසීමක්

ධනේෂ් විසුම්පෙරුමවිදුසර, 2023-02-01 පි. 12-13
(මෙම ලිපිය අදින් වසර දෙකකට පෙර, 2023 වර්ෂයේ 75 වන නිදහස් සමරුව වෙනුවෙන් ලියවුනක් වන අතර, ඉන් පසුව යාවත්කාලීන කර තිබේ. අවසන්වරට යාවත්කාලීන කරන ලද්දේ: 2025-02-02).


1948 වර්ෂයේ පෙබරවාරි මස 4 වැනි දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් ඩොමීනියන් නිදහස ලබාගෙන 2023 වර්ෂයේ පෙබරවාරි 4 වැනි දාට වර්ෂ 75ක් සම්පූර්ණ විය. ඒ කාලය ඇතුළත මෙරට සිදු වී ඇති වෙනස්කම් කෙසේ ද යන්න පිළිබඳව විමසා බැලීම මේ ලිපියේ අරමුණ වේ.

පළමුව ඒ කාලය තුළ ඇති වී තිබෙන මූලික වෙනස්කම් පිළිබඳව වැදගත් දත්ත සමූහයක් පළමු වගුවේ දැක්වේ.

1 වන වගුව - නිදහස් ලංකාව පිළිබඳ මූලික දත්ත කිහිපයක්



මේ අනුව පෙනෙන්නේ 1948 හා 2023 අතර කාලයේ දී මෙරට ජනගහනය තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බවයි. ජනගහන වර්ධන වේගය අඩු වැඩි වෙමින් පැවතී ඇත - නිදහසින් පසු කාලයේ ක්‍රමයෙන් වර්ධනය වී 2% ද ඉක්මවා තිබී පසුව අඩු වී ගොස් තිබේ. 2016-2018 අතර කාලයේ සාමාන්‍යයෙන් 1.1%ක්ව තිබූ මේ අගය 2019 හා 2020 වර්ෂවල දී 0.6% හා 0.5%ක් දක්වා අඩු වී තිබේ. 2021 වර්ෂයේ දී එය යළිත් වර්ධනය වී ඇත.

ආර්ථික වර්ධනය පිළිබඳව සලකන විට, දළ දේශීය නිෂ්පාදනය බොහෝදුරට අඛණ්ඩව වර්ධනය වී ඇති අතර 1990 දශකයේ සිට සිඝ්‍ර වර්ධනයක් පෙන්වයි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය හා ආදායම 2019-2020 වර්ෂවල දී යළිත් පහළ බැස තිබේ.

සමස්ත ආර්ථිකය සඳහා ඇතැම් අංශවල දායකත්වය විශාල වශයෙන් වෙනස් වී ඇති බවද ඉහත වගුව බැලූ විට පෙනේ. කෘෂිකර්මයේ දායකත්වය ඒ අතරින් කැපී පෙනෙන ලෙස අඩු වී ඇතත් ඊට හේතුව සෙසු අංශවල දායකත්වය වේගයෙන් ඉහළ යාම බව පෙනෙන්නේ කෘෂිකර්ම අංශයේ නිෂ්පාදනය හා වෙළෙඳපොළ වටිනාකම ඉහළ ගොස් ඇති නිසාය. 

නිදහසෙන් පසුව ලංකාවේ සිදු වී ඇති සංවර්ධනය පිළිබඳව විවිධ ආකාරයේ අදහස් සමාජයේ දැකිය හැකිය. මේ කාලය තුළ විද්‍යාව හා තාක්ෂණයට අදාළ සහ සමාජ සුබසාධනය පිළිබඳ අංශ කීපයක් හා සංවර්ධනය සඳහා දර්ශක ලෙස යොදාගත හැකි අංශ පිළිබඳ සංසන්දනයක් සිදුකිරීම මේ ලිපියේ අරමුණ වේ. මේ සඳහා විශේෂයෙන් තෝරගෙන ඇත්තේ සෞඛ්‍ය හා අධ්‍යාපනය යන අංශයි. එසේම සංවර්ධනය සඳහා වැදගත් වන විදුලිය හා ප්‍රවාහනය යන අංශය ද විස්තර කර තිබේ. මේ සඳහා දත්ත ලබාගැනීමේ දී මහ බැංකු වාර්තා, ඒ ඒ දෙපාර්මේන්තුවල පාලන වාර්තා සහ Economic Progress of Independent Sri Lanka නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශනය යොදාගෙන ඇත. එසේම කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග දැඩි ලෙස වෙනස් වූ අංශවල දත්ත සඳහා 2018 හෝ 2019 වර්ෂ යොදාගෙන තිබේ.


සෞඛ්‍යයනිදහසින් පසු ගත වූ කාලය තුළ සෞඛ්‍ය අංශයේ සිදුව ඇති වෙනස්කම් අතරින් වැදගත් වෙනස්කම් සමහරක් 2 වන වගුවේ දැක්වේ. මේ කාලය ඇතුළත මෙරට සෞඛ්‍යය හා පෝෂණ අංශයේ සැලකිය යුතු වර්ධනයක් සිදු වී තිබෙන බව පෙනේ.

2 වන වගුව - සෞඛ්‍ය අංශයේ වැදගත් දත්ත



මේ කාලය තුළ නිදහස් සෞඛ්‍ය සේවාවක් පැවති අතර, මේ සඳහා රජය සාමාන්‍යයෙන් මුළු වියදමෙන් සැලකිය යුතු මුදලක් වැය කර තිබේ. නිදසුනක් ලෙස ගතහොත් 2019 දී මුළු දළ ජාතික නිෂ්පාදනයෙන් 1.63%ක් රජය සෞඛ්‍ය අංශය සඳහා වැය කර තිබේ. මේ කාලය ඇතුළත විශේෂ වැඩසටහන් මගින් වසූරිය හා මැලේරියාව වැනි රෝග මෙරටින් තුරන් කර දැමීමට ද හැකි වී තිබේ. එසේම වෙනත් රෝග සම්බන්ධව සිදුකරන ලද එන්නත්කරණයේ ද වර්ධනයක් ඇති වී තිබේ.

සෞඛ්‍ය අංශයේ වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස නිදහසින් පසු දශක කීපයක කාලයේ දී මෙරට වාර්ෂික ජනගහන වර්ධන වේගය විශාල ලෙස ඉහළ ගොස් ඇත. 1953 දී එය 2.8%ක් ද, 1963 දී 2.7%ක් ද, 1972 දී 2.5%ක් ද වී තිබේ. සෞඛ්‍ය පහසුකම්වල වර්ධනය නිසා මරණ ප්‍රමාණය (මරණ අනුපාතිකය) වේගයෙන් අඩු වීම හා උපත් අනුපාතිකය වර්ධනය ඊට හේතු විය. පසුව උපත් අනුපාතිකය ද අඩුවීමත් සමඟ අද වන විට මේ වර්ධන වේගය 1% අවට අගයක පවතී. 1960 දශකයේ දී පවුල් සැලසුම හඳුන්වා දීම ද මීට දායක වී තිබේ.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වර්ධනයේ ප්‍රතිඵලය 3 වන වගුවේ සඳහන් සංඛ්‍යාලේඛන අනුව පෙනේ. සාක්කලාපයේ වෙන් රටවල් හා සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන රටක් බව පැහැදිලිය.

3 වන වගුව - සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වර්ධනය පෙන්වන දර්ශක


අධ්‍යාපනය
නිදහසෙන් පසුව ගත වූ කාලයේ දී අධ්‍යාපනය සම්බන්ධව ද කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකි බව ඒ පිළිබඳ දත්ත අනුව පෙනේ. එවැනි කරුණු කීපයක් 4 වන වගුවේ දැක්වේ. 2019 වර්ෂයේ දී අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 1.93%ක් වැය කර තිබේ. නිදහස් අධ්‍යාපනය මෙන්ම ස්වභාෂා අධ්‍යාපනය අනිවාර්ය කිරීම ද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූයේ මෙරට නිදහස ලැබූ කාලය හා සමගාමීවය. එසේම රජයට අයත් නොවූ හා වෙනත් ආයතන මගින් පාලනය කළ පාසල් 1960 දශකය මුල දී රජයට පවරා ගන්නා ලදි. 1961 මුල දී 4592 ක් වු රජයේ පාසල් ගණන 1963 වන විට 8221 පමණ දක්වා වර්ධනය වීමෙන් ඒ බව පැහැදිලිය.

4 වන වගුව - අධ්‍යාපන අංශයේ වැදගත් දත්ත


මේ කාලය ඇතුළත සිදුව ඇති ජනගහන වර්ධනයට හා සමගාමීව පාසැල් ගණන මෙන්ම, පාසල් ශිෂ්‍යයන් හා ගුරුවරුන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත. ඉහත සඳහන් කර ඇති පරිදි සමස්තයක් ලෙස රටේ ජනගහනය තුන් ගුණයකින් පමණ ඉහළ යද්දී, සමස්ත පාසල් සිසුන් ගණන සිව් ගුණයකට ආසන්නව (1948 දී මිලියන 1.18ක සිට හා 2020 දී මිලියන 4.27ක්) පමණ ඉහළ ගොස් තිබේ. 

එමෙන්ම ගුරුවරුන් සංඛ්‍යාව ද මේ කාලය තුළ සත් ගුණයකින් ඉහළ ගොස් ඇත. රජයේ පාලසක එක් ගුරුවරයෙකුට සිටින ශිෂ්‍යයන් ගණන 1948 වර්ෂයේ දී 38ක් පමණ විය (ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වල 31ක් ද ස්වභාෂා පාසල්වල 40ක් ද විය). මේ අගය 2021 වර්ෂයේ දී 16 දක්වා අඩු වී ඇත (කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල හා පාසල්වල මෙය මීට වඩා අධික වන්නේ පරිපාලන ගැටලු නිසා විය යුතුය.)

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කැපී පෙනෙන වෙනස්කම් සිදු වී තිබේ. ඉන් එකක් වන්නේ විද්‍යා විෂයයන්ට යොමු වීමේ දැකිය හැකි වර්ධනයයි. පොදුවේ ගත් විට අධ්‍යාපනයට බොහෝ ප්‍රමිති හඳුන්වා දීම මේ වර්ෂ 75ක කාලය තුළ සිදු වී ඇත. සමස්තයක් ලෙස අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව (SLQF) ද, වෘත්තීය පුහුණුව සඳහා ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) හඳුන්වා දී ඇත්තේ ද මේ කාලයේ දීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වූ වර්ධනය පෙන්වන දර්ශක කිහිපයක් 5 වන වගුවේ දැක්වේ. 

අධ්‍යාපනයේ ඇති වූ වර්ධනයේ ප්‍රධාන දර්ශකය ලෙස ගත හැක්කේ මෙරට සාක්ෂරතාවයේ හෙවත් කියැවීමේ හා ලිවීමේ හැකියාවේ සිදුව ඇති කැපී පෙනෙන වර්ධනයයි. 1948 දී 57.6ක් ලෙස පැවති සාක්ෂරතාවය 2020 වන විට 93%ක් පමණ වේ. සාක්ෂරතාවය අනුව අප පසුවන්නේ සාක් කලාපයේ දෙවැනි තැනය.

5 වන වගුව - අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වූ වර්ධනය පෙන්වන දර්ශක



වෙනත් වැදගත් අංශ සැකෙවින්
පොදුවේ රටේ සංවර්ධනයට බලපාන අංශ කීපයක් සම්බන්ධව කෙටියෙන් සාකච්ඡා කිරීමට අපි අදහස් කළෙමු. ඒ අතර විදුලිබලය, ප්‍රවාහනය වැනි අංශ වැදගත්ය.

(1) විදුලිය
ශ්‍රී ලංකාව නිදහස ලබන අවස්ථාව වන විට කොළඹ බලාගාර තුනක් සහ තවත් නගර 51ක කුඩා විදුලි සැපයුම් පද්ධති ක්‍රියාත්මක කරන ලදි. ඒ මූලික වශයෙන් තාප විදුලියෙනි. 1947 අග වන විට කොළඹ පැවති බලාගාරවල ස්ථාපිත ධාරිතාව මෙගවොට් 18ක් පමණ වූ අතර, ජනනය කළ විදුලිබලය ගිගාවොට් පැය 53ක් විය. කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශයේ විදුලි සැපයුම් ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් ගණන 14,436ක් පමණක් විය. සමස්තයක් ලෙස ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් 8ක් විය.

2020 වර්ෂය වන විට මෙරට ස්ථාපිත ධාරිතාවය මෙගාවොට් 4265 කි. ඊට ජලවිදුලිය (මෙගාවොට් 1383), ද්‍රව ඉන්ධන (මෙගාවොට් 1268), ගල්අඟුරු (මෙගාවොට් 900) සහ වෙනත් පුනර්ජනනීය ප්‍රභව (මෙගාවොට් 714)ක් අයත් වේ. ඒ වර්ෂයේ දී ජනනය කළ විදුලිබලය ගිගාවොට් පැය 15714ක් විය. ඒ වර්ෂයේ මුළු විදුලි පාරිභෝගිකයන් ගණන මිලියන 7.213ක් වු අතර, 2016 වර්ෂය වන විට ද මෙරට ජනගහනයෙන් 99.3%කට විදුලි සැපයුම ලබා දී තිබිණි. 2020 වන විට මෙරට ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 686.7 දක්වා ඉහළ ගොස් ඇත.


(2) ප්‍රවාහනය
ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැඩි වර්ධනයක් සිදු වී ඇත්තේ මාර්ග ප්‍රවාහන ක්ෂේත්‍රයේ ය. ඒ වන විට පැවැති රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් 1948 අග වන විට නඩත්තු කළ කිලෝමීටර් 6,518ක් වු ඒ හා බී ශ්‍රේණිවල මාර්ග ප්‍රමාණය 2020 වන විට කිමී 12,225ක් පමණ දක්ව ඉහළ ගොස් තිබේ. මේ මාර්ග සහ අධිවේගී මාර්ග කිලෝමීටර් 312ක් ඇතුළත් ජාතික මහාමාර්ග අද මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වේ. (මෙම ජාතික මහාමාර්ග හැර, මෙරට සමස්ත මාර්ග පද්ධතියෙන් වෙනත් ආයතනවලින් පාලනය වන මාර්ග වර්ග තිබේ.)

1948 වර්ෂයේ දී මෙරට භාවිතයේ තිබූ සක්‍රිය මෝටර් රථ ප්‍රමාණය 47,810ක් වූ අතර, 2020 වන විට එය මිලියන 5.4 ඉක්මවා තිබේ. මේ අතරින් ප්‍රවාහන සේවා සඳහා වඩාත් වැදගත් වන්නේ පොදු මගී ප්‍රවාහනයයි. එනම් මාර්ගස්ථ මගී බස් හා දුම්රිය සේවයයි. මෙරට නිදහස ලබන විට පුද්ගලික සමාගම් 53ක් හා පුද්ගලයන්ට අයත් වූ බස් රථ බස් 2,583ක් පොදු මගී ප්‍රවාහනයට දායක විය. හිමිකරුවන්ගේ ඒකාධිකාරය යටතේ වූ පොදු මගී ප්‍රවාහනය විධිමත් වන්නේ 1958 වර්ෂයේ දී පොදු මගී බස් රථ ජනසතු කිරීම හා ලංගම බිහිවීම සමඟය. 1979 වර්ෂයේ දී පෞද්ගලික මගී ප්‍රවාහන සේවා යළි හඳුන්වා දෙන ලදි. 2019 වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5,048ක් ද, පෞද්ගලික බස් රථ 18,562ක් ද මගී ප්‍රවාහනයේ යෙදී තිබේ.

1948 වර්ෂයේ දී මෙරට තුළ කිලෝමීටර් 1,438ක දුම්රිය මාර්ග ප්‍රමාණයක් තිබූ අතර මෙය 2020 වන විට 1,648ක් පමණ දක්වා වර්ධනය වී තිබේ. නිදහසෙන් පසුව නව දුම්රිය මාර්ග තැනී ඇත්තේ සුළු ප්‍රමාණයක් වුවත්, තනි මාර්ග ගණනාවක් ද්විත්ව මාර්ග බවට පත් කිරීම ද සිදු වී ඇත. නිදහස ලැබූ වර්ෂය වන විට ද දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබමින් තිබී ඇති අතර, ඒ සඳහා ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද වැඩි වශයෙන් මාර්ග ප්‍රවාහනය වෙත ජනතාව යොමුවීමය. එය මෙන්ම, සේවක පිරිස ද දුම්රිය සේවයේ මෙන්ම ශ්‍රී ලංගමයේ ද අලාභ සඳහා හේතු වී ඇති බව ප්‍රකට කරුණකි.


(3) තොරතුරු තාක්ෂණය
තොරතුරු තාක්ෂණය අද ලෝකයේ වඩාත් වැදගත් අංශයකි. ලෝකය අද සාකච්ඡා කරන්නේ තොරතුරු ආර්ථිකයක් පිළිබඳවය. 1990 දශකයේ දී මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය හා යටිතල පහසුකම් පුළුල් වීම ආරම්භ විය. මේ කාලය තුළ ඇති වූ වර්ධනයත් සමඟ පුද්ගලිකව මෙන්ම කර්මාන්තයක් ලෙස ද වැදගත් වී තිබේ. 2021 වර්ෂයේ දී මෙරට පරිගණක සාක්ෂරතාව හෙවත් පරිගණකයක් තනිව භාවිත කිරීමේ හැකියාව පැවතියේ ජනගහනයෙන් 34.1%කටය. එය ප්‍රදේශය (නාගරික, ග්‍රාමීය හා වතු) වශයෙන්, පළාත් අනුව, වයස් කාණ්ඩය හා අධ්‍යාපන මට්ටම අනුව සැලකිය යුතු තරමින් වෙනස් වේ. රැකියාවල නියුතු පරිගණක පිළිබඳ දැනුවත් වයස 15-69 අතර පිරිස් අතර පරිගණකක සාක්ෂරතාවය 66.3%ක් වන අතර එය වෘත්තිය කාණ්ඩය අනුව වෙනෙස් වේ. (2021 වර්ෂයේ දී මෙරට ඩිජිටල් සාක්ෂරතාවය 57.2%ක් වේ. ඩිජිටල් සාක්ෂරතාවය යනු පරිගණකයක්, ලැප්ටොප් පරිගණකයක් ටැබ් පරිගණකයක් හෝ ස්මාට් දුරකථනයක් තනිව භාවිත කිරීමේ හැකියාවයි. මෙම අගය පරිගණක සාක්ෂරතාවයට වඩා ඉහළ වීම ස්මාට් දුරකථන වෙත යොමුවීම පෙන්වන්නක් ලෙස සැලකේ)

2021 වර්ෂය වන විට මෙරට ඊමේල් හා අන්තර්ජාල දායකත්ව මිලියන 22.23ක් ඇත. පුද්ගලයින් දහසකට අන්තර්ජාල සම්බන්ධතා ගණන 1003.6කි. එය 2013 වර්ෂයේ දී පැවතී ඇත්තේ 97.6ක අගයකය. එසේම රට තුළ ජංගම දුරකථන මිලියන 29.9ක් භාවිතයට ගැනේ. සියලු වර්ගවල ජංගම දුරකථන ගතහොත්, පුද්ගලයන් 100කට දුරකථන 148.1ක් භාවිත වේ.


Friday, October 25, 2024

තාත්තාගේ දොඩම් ගසේ කතාව




මේක අමුතු කතාවකි.

මේ මගේ ගෙදර දොඩම් ගසය. මේකේ වයස අවුරුදු විස්සක් පමණ වේ. දොඩම් කුලයේම ගසක් ග්‍රාහකය ලෙස ගෙන, ඊට පැණි දොඩම් අංකුරයක් බද්ධ කරන ලද්දේ තාත්තා විසිනි.

ඔහු මේ ගස සිටුවා වසර දහයක් පමණ ගත වුව ද ඒ ගසේ ගෙඩි හැදුණේ නැත. තාත්තා ඒ ගැන බෙහෙවින් විස්සෝප වූ අතර ගසේ ගෙඩි හටගන්වන්නට ඔහු නොකළ දෙයක් නැත - ගසට වතුර නොදා සිටියේය, ගසේ බර එල්ලුවේය, ගහට පහර දුන් බවත් දුටු අය කියා ඇත. කොටින් ඔහු ඒ ගැන නොකළ දෙයක් නැතිවා විය හැකිය. ඒත් දොඩම් ගසේ ගෙඩි ආවේ නම් නැත!

අවසානයේ මේ ගසේ ගෙඩි හැදුනේය. ඒ 2013 වර්ෂයේ මැද හරියේය. එනම් තාත්තා මිය ගොස් මාස කීපයකට පසුවය. ඒ, මේ ගසට මොකක් කරන්න දැයි මගේ හිතවතුන් කීප දෙනෙකුගෙන් මා විමසමින් සිටි කාලයේ දීය.

මේ ගසේ දොඩම් හොඳ පැණි රසකින් යුක්ත විය. එහෙත් මුල්ම කන්න කීපයේ හැදුණු ගෙඩි මෙන් නොව පසුව ආ ගෙඩිවල පැණි ගතිය හා දියර ගතිය අඩුවිය. අපේ ගෙදර සිටි වැඩිහිටියෙකු පැවසූ විදිහට වරක් 'ආර්ථික සමීක්ෂණයකට' පැමිණි රජයේ නිලධාරිනියක් වත්තේ තියෙන්නේ මොනවද අසා, "ආ මේ දොඩම් ගසකුත් තියෙන්නේ" කියා පවසා සටහන් කරගන ඇත. ගෙඩිවල පැණි ගතිය හා දියර ගතිය අඩුවී ඇත්තේ එයින් පසු බව ඒ ඥාතින්ගේ අදහසයි. එය නිසැකව නොදනිමි. වසර ගණනාවකට පසුව දැන් ගෙඩි තරමක් හොඳය. ඒත් පෙරට වඩා කුඩා ප්‍රමාණයක තිබිය දී වැටෙයි.

මෙවැනිම තවත් සිදුවීමක් හිතවතෙකුගේ නිවසක දී මම ඇසීමි. කොළඹ නගරයේ වූ එම ගෙවත්තේ මගේ හිතවතා සිටුවා ආදරයෙන් සාත්තු කළ වෙරළු ගසක් හොඳින් වැඩී ඇතත් එහි ගෙඩි හැදී නැත. ඔහු ඒ ගැන කණගාටු වූ බවත්, ඔහු මිය ගොස් මාස කීපයක් තුළ ඒ ගසේ වෙරළු ගෙඩි හැදුණු බවත් ඔහුගේ බිරිඳ මා සමඟ පැවසුවාය.

මේවා මෙසේ වන්නේ කෙසේදැයි නොදනිමි.

2024-10-25

Wednesday, October 16, 2024

පරෙස්සම් විය යුතු මාකටින් උපක්‍රම (කතා)

ධනේෂ් විසුම්පෙරුම

මේ බ්ලොග් සටහනේ ඇත්තේ පාරිභෝගිකයා නොමග යවා හෝ රවටා තම වෙළෙඳ සැලේ භාණ්ඩ අලෙවි කිරීම සඳහා විවිධ ආයතනවල අය විසින් යොදාගත් වැරදුණු මාකටින් උපක්‍රම පිළිබඳ මගේ අත්දැකීම් සමූහයකි. මෙවැනි අවස්ථාවල දී පාරිභෝගිකයා ලෙස ඔබත් මමත් නොරැවටිය යුතු බව මගේ අදහසයි. 

මේ පෝස්ටුව වරින්වර යාවත්කාලීන කරනු ලැබේ - අවසන් යාවත්කාලීන කිරීම: 2024-10-15.


= = = = = = = = = = = = = 

1. පොත් වෙළෙන්දා කෙසේ කීවත් මිලට ගන්නා පාඨකයා පිටු පරීක්ෂා කළ යුතුය.
මාකටින් අවුල් 01
මේක උනේ 2024 අගෝස්තු.
ලංකාවෙ නගරයක් ගැන ලියැවුණ වසර ග ණනාවකට පෙර මුද්රණය උන සෑහෙන හොඳ පොතක් තිබ්බා, මිල වැඩි නිසා මට ගන්න නොහිතුන. රජයේ ආයතනයකින් ප්රකාශිත ඒ පොත අවසන් උනා කියලයි මට ආරංචි උනේ. පහුගිය දවසක වෙනත් පොතක් ගන්න එතැනට ගියාම මේ පොතේ පිටපත් දෙකක් තිබෙනවා දැක්කා. මම පොත අතට ගත්තේ...
"මේකෙ පිටු ඔක්කොම හරි දන්නේ නෑ නේ ද" කියලා. මොකද, ඔහොම ඉතිරි වෙන්නේ ඒ වගේ පොත්.
එහි සිටි කාන්තාව කීවේ "අපේ පොත්වල එහෙම නෑ." කියලයි. සමහර රජයේ නිලධාරීන්ගේ තියන අඩු ආචාරශීලිත්වය වගේම අවසන් තීරණය එයාගේ කියන වොයිස් එකක් එයාට තිබ්බේ.
"පොත් වෙළෙන්දා කෙසේ කීවත් පාඨකයා පිටු පරීක්ෂා කළ යුතුය" කියන අලුත් කියමන ප්රකාරව මං ඒ පොතේ පිටු නිවැරදිදැයි අග සිට මුලට පරීක්ෂා කළා. බැලින්නම් පිටු අංක 302 න් පස්සේ තියෙන්නේ 313. ඒ අතරට තිබුනේ පොතේ වෙනත් තැනකත් ඇති පිටු සමූහයක්. ඒ කියන්නේ පිටු 10ක් අඩුයි!
මං මේක පෙන්නුවම ඒ කාන්තාවට කතා කරන්න දෙයක් තිබ්බේ නෑ. මොකුත් නොකියා හිටියා. එතැන උන් පිරිමි නිලධාරියෙක් පොත අරන් කීප වතාවක් බලලා පොත පිටුපසින් ගෙනිහින් තිබ්බා. මේක ඉස්සරහින් තියන්න එපා කියලා කියලත්. එයා අතින් කියවුන කාරණයක් තමයි "පොත් ගන්න අය පෙරලළා පිටු බලන්නේ නෑ" කියලයි!
ඒ පො‌තේ අනිත් පිටපතේ පිටු අඩුවක් තිබ්බෙ නැති නිසා ඒක මම මිල දී ගත්තා.
පාඩම - පොත් මිලට ගනිද්දී පිටු බලා ගන්න.
සටහන - වරක් කොළඹින් අරන් පිට පළාතක ඉන්න මිතුරෙක්ට මා අරන් දුන් පොතක පිටු අඩුවක් නිසා මාරුකරගැනීමේ ගැටලුවක් ආවා. වාසනාවට එයා සේවය කරන දිස්ත්රික්කයේ අදාළ ආයතනයේ කාර්යාලයක් තිබ්බ නිසා පොත මාරු කරලා දුන්නා. සාමාන්යයෙන් මං පොත් ගනිද්දි පිටු සියල්ල තිබෙනවාදැයි බැලුවත්, එදා ඒක මගෑරුනා.

= = = = = = = = = = = = = = = 


2. ක්ලේ කතාව

දවසක් නුගේගොඩ බෝගහ හන්දියට (හයිලෙවල් පාර/ ගුවන්පාලම ඇති හන්දිය) යන්න කම්මැලි නිසා සුපිරි වෙළඳසැල ඉදිරියේ තිබ්බ ‌ප්‍රසිද්ධ පොත් සාප්පුවක නුගේගොඩ ශාඛාවට ගොඩ උනේ ක්ලේ පැකට් එකක් ගන්නයි. සාමාන්‍යයෙන් ක්ලේවල පොඩි භූමිතෙල් ගඳක්/සුවඳක් තියනවනේ. පිටරටින් ගෙනා ක්ලේවල එවැනි ගන්ධයක් තිබ්බාට ලංකාවෙ ප්‍රකට බ්‍රෑන්ඩ් එකකින් (X කියමු) හදන එවැනි ගඳක් නැති ක්ලේ නිෂ්පාදයක් තිබ්බා. මට ඒ නිසා ඒ වර්ගයෙන් තමයි එකක් ගන්න ඕන උනේ. 

ඉතින් මං සාප්පුවෙන් ගිහින් ඇහුවා ක්ලේ තියනවද කියලා. එතන උන් තරුණිය පෙන්නුවෙ අර පිටරටින් ගේන වර්ග. බහුතරයක් චීන නිෂ්පාදන. මට ඕන උනේ අපේ රටේ හදන එකනේ. ඉතින් මං අර X වර්ගයේ නම කියලා ඒ වර්ගය නැද්ද කියලා ඇහුවා. ඒ තරුණිය ගත් කටටම කීවෙ 

"X එකේ ක්ලේ එකක් නැහැ සර්" කියලා

මගේ උත්තරේ උනේ, "ඔයා‌ ගිහින් බලන්න එහා පැත්තෙ හන්දියේ තියන Y බුක්ෂොප් එකට. ඔයාට ගන්න පුළුවන් X වර්ගයේ ක්ලේ පැකට් ඕන ගණනක්"

නිරුත්තර උන ඒ තරුණිය මට මොකුත්ම උත්තරයක් දුන්නේ නෑ.

පහුවදා හයිලෙවල් පාරෙ ඉදලා පයින් එන අතර මම X වර්ගයේ ක්ලේ පැකට් එකක් ගත්තා.

මං අර කී සුප්‍රකට පොත් සාප්පුවේ නුගේගොඩ ශාඛාව දැන් නැත.

පාඩම - මෙයාලා බලන්නේ අපට ඕන දේ දෙන්න නෙවයි. තියන දෙයක් ඇගේ ගහන්න. අපට ඕන දේ ගන්න අපි දැනගන්න ඕන.

= = = = = = = = = = = = = = = = = = = = = 


3. තියන දේත් නෑ කියන අය! 

බීඑම්අයිසීඑච් එකේ තිබ්බ ආහාර ප්‍රදර්ශනයක දී, දේශීය නිෂ්පාදන අලෙවි ආයතන අතරින් මම ආසම සමාගමක ස්ටෝල් එක දැක්ක මම ඉක්මනින් එතැනට ගියා. මොකද, එයාලගේ මම ආසම නිෂ්පාදන කීපයක් ගත හැකි වේය කියන අදහසින්. එදා ඒකෙ හිටපු අලෙවි ප්‍රවර්ධකයන් හා ප්‍රවර්ධිකාවන් ගණන කොච්චර ද යත්, විකුණන්න තිබ්බ නිෂ්පාදන වර්ග ගණනට පොඩ්ඩක් අඩු වෙන්න ඇති. කොහොම හරි මම සෙව්ව එක් නිෂ්පාදනයක් ‌තිබ්බේ නැති නිසා මං මෙහෙම ඇහුවා...

"අර ඉස්සො රස පපඩම් එක තියනවද?"

"අපි ළඟ එහෙම එකක් නෑ සර්. මේ තියෙන්නේ අපේ ප්‍රඩක්ට්" කියලා වෙන ඒවා පෙන්වනවා.

"මං දැකලා තියනවනේ ඒක."

"නෑ සර් අපේ ඔක්කොම ප්‍රඩක්ස්ට් මෙතන තියනවා" ඔහු කියනවා.

"මම ඉස්සො රස පපඩම් එක ගන්නවනේ XXXX තියන ඔයාලගේ සුපර් මාකට් එකෙන්. එතකොට මේ ඒ කම්පැනිය නෙමෙයි ද?"

මගේ ප්‍රශ්නයෙන් නිරුත්තර වූ ඔහු සැනෙන් මගහැර ගියේය. අනෙක් අලෙවි නියෝජිතයන් ද මා හා කතාවට ආවේ නැත. මුවට නගාගත් සිනාවෙන් යුතුව මම කුටිය නරඹා එළියට පැමිණියෙමි.

පාඩම - එයාලා බලන්නේ තියන දේ විකුණන්නය. තමන්ගේ නිෂ්පාදන උනත් එසේය.

(මේ ආයතනයේ ඇතැම් නිෂ්පාදන ඇත්තේ මා ඉහතින් සදහන් කර ඇති, කොළඹ නගරයේ උප නගරයක ඇති කුඩා සුපර්මාකට් එකේ පමණය. වෙනත් සුපර්මාකට්වල හා කඩවල්වල ඇත්තේ මහා පරිමාණයෙන් කරන හා අලෙවිය අධික නිෂ්පාදන පමණකි.)

Tuesday, October 15, 2024

වැස්ස නැවතුනා?

Climate Diary - දේශගුණ දිනපොත 07

ධනේෂ් විසුම්පෙරුම

"වැස්ස නැවතුනා වගේ නේද? මගෙන් එහෙම ඇහූවෙ උදේ මං ආපු (නොදන්න) තුන්රෝද රථයේ රියදුරායි.
"හ්ම්, ඒ වගේ" කියල මම කීවම,
"ටිකක් පායන්නත් ඕන සර්." කියපු ඔහු ඒක මෙහෙමත් පැහැදිලි කළා -
"එක දිගට දවසම වැස්සම මිනිස්සු තමන්ගේ වැඩ කල්දානවා."

ඊලගට මේ ගැන කීවෙ උදේට තේ එකක් බොන කඩේ කාන්තාව.
"අද නං පායනවා වගෙයි" ඒ ඇය කී කතාව.
"ඔව් පායන එක මිනිස්සුන්ගේ වැඩවලට හොඳයි. මොකද තදට වැස්සාම සමහර වෙලාවට බිස්නසුන් නැති වෙනවනේ." මගේ උත්තරේ ඒ.
"අපට නං බිස්නස් වැඩි උනා" ඇය කීවා.
"එහෙම ද?" මං ඇහුවා.
"ඔව් කෝපි, තේ බොන්න එන කට්ටිය වැඩි උනා"

බලන්න වැස්ස එකිනෙකා වෙනස් විදියට බලපාන හැටි...

මට මතක් උනේ තලවතුගොඩ පලතුරු බීම කඩේ. මේ වගේ එක දිගට වැහැපු කාලෙක ඒ කඩේ බිස්නස් නැති වුනානේ. වැස්සට කවුද, සීතල පලතුරු බීම බොන්නේ? අන්තිමට එයාලා තේ හා කෝපි විකුණන්න පටන් ගත්තා. ලොකු වචනවලින් 'ජීවනෝපාය විවිධාංගීකරණය' හා 'ජීවනෝපාය අනුහුරු වීම' කියන එකට මේක උදාහරණයක්.

මං කල්පනා කළේ මේ වැස්ස තවත් අයට දැනෙන හැටි - ඊයෙත් අදත් වසා තිබෙන කොළඹ කලාපෙ ඉස්කෝල ළමයින්ට හා ගුරුවරුන්ට මේක කොහොම දැනෙනව ඇතිද? ඒ ළමයි ගෙවල්වල ඉන්නකොට අම්මල තාත්තලාට කොහොම දැනෙනව ඇතිද කියලා...


කාලගුණය ජීවනෝපායට බලපාන ආකාරය ගැන ලිව්ව කලින් සටහන් දෙකක් - 

1. වැස්ස හා ජීවනෝපාය - https://dhaneshw.blogspot.com/2022/10/26-climate-diary-02.html

2. ජීවනෝපාය හා කාලගුණය - https://dhaneshw.blogspot.com/2022/11/17-climate-diary-03.html.html

Sunday, September 8, 2024

පැනගිය පුරුෂයෙක් ගැන පෙරනම් ප්‍රකාශයක්

මෙය පවුල් ඉතිහාස අධ්‍යයන අතර මට හමුවූ අපූරු සටහනකි.

මෙය කොළඹ ජාතික ලේඛනාගාරයේ ඇති විවාහ හා උපත් ලියාපදිංචි කරන ලද පුස්කොළ ලේඛනයක තිබී හමු වු එක් සටහනකි. 19වන සියවසේ මුල් දශක පහක පමණ කාලයක ට අයත් බස්නාහිර හා දකුණු පළාත්වල විවාහ හා උපත් සැලකිය යුතු තරම් මේ පුස්කොළ ලේඛන වල ඇතුළත්ය. මේවා ඒ ඒ ප්‍රදේශවල තිබූ පල්ලිවල පවත්වාගෙන ගිය උපත් හා විවාහ රෙජිස්ටර්ය. 

‍මේ උපුටා දක්වන සටහන පෙරනම් ලියාපදිංචියක් අවලංගු කිරීමකි. 

ඒ අනුව මෙහි වම් පස සටහනේ එන නම් සඳහන් පුරුෂයා (ළුවිස්) හා ස්ත්‍රිය (කත්‍රීනා) අතර* පෙර නම් දීම 1837 ජනවාරි මාසයේ 7 වෙනි දින සිදු වී ඇත. සාමාන්‍ය ලියාපදිංචියක නම් ඊට දකුණු පසින් ඇති සටහනේ දැක්වෙන කසාද බඳින්ඩ යෙදුනේ යනුුුුවෙන් කසාදය සිදු වූ දවස හා කවුරුන් විසින් කරන ලද්දේ ද යන්න පිළිබඳව වුවත් මේ සටහනේ ඇත්තේ වෙනස් සටහනකි. 

"මේ පෙරනමට අයිති ස්ත්‍රී පුර්‍ෂයෝ සන්වාස
නූනු නිසත් පුර්‍ෂයා සැඟවී ගිය නිසත් අවලඟු
කරන්ඩ ‌යෙදුනාය.

වර්‍ෂ 1839 පෙබ්‍රවාරි මස 27 දිනදීය"

 


මෙහි සඳහන් නම J M S Glenie බව පෙනේ. 1837 වර්ෂයේ Almanac ප්‍රකාශනය (පි. 145) අනුව ඔහු එංගලන්ත සභාවේ කොළඹ ප්‍රධානී තනතුර වන Archdeacon තනතුර දරා ඇත. මේ විවාහය අවලංගු කිරීම සිදු කර ඇත්තේ ඔහුගේ අත්සනෙනි. 

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි දී කසාදයට පෙර සැඟව ගොස් ඇත්තේ පුරුෂයා වීමයි. අපට වැඩි වශයෙන් අසන්නට ලැබෙන්නේ ස්ත්‍රිය සැඟව යාම හෙවත් කට වහරේ එන ආකාරයට නම් 'පැන යෑම' පිළිබඳවය. එහෙත් මේ සටහනේ දැක්වෙන්නේ පුරුෂයා පැන යෑමකි. මෙතෙක් මා කියැවූ, මේ කාලයට අයත් පහළොස් දහසකට අධික විවාහ ලියාපදිංචි කිරීම්වලින් මෙවැනි සිදුවීමක් නිසා සිදු වූ පෙරනම් දීමක් අවලංගු කිරීමක් හමු වූයේ මුල් වතාවටය.


'පෙර නම්' යනු කවරේද?

පෙර නම යනු විවාහය සඳහා දෙදෙනෙකුගේ නම් ප්‍රසිද්ධ කිරීමයි. විවාහ ගිවිස ගැනීම හෙවත් නම් දීම යනුවෙන් අද හැඳින්වෙන ක්‍රියාවට සමාන කටයුත්තකි. මෙය banns of marriage යනුුුුවෙන් ඉංග්‍රීසි බසින් හැඳින්වේ.

බටහිර සිරිත් ප්‍රකාරව විවාහයට පෙර විවාහ ලේකම් කෙනෙකු වෙත නීතිමය ලෙස ලියාපදිංචි කිරීම හෙවත් නම් ප්‍රසිද්ධ කිරීම බව පෙනේ. කලින් නම් දීම යන අරුතෙන් "පෙර නම්" දීම යන වචනය සිංහල වචනයක් සේ පෙනුනත් එය එසේ නොවන බව පෙනේ. මෙය පෘතුගීසි භාෂාවේ එන pregao නම් වචනයෙන් "පෙර ගම්" ලෙස සිංහලට බිඳී ඇති බව පැහැදිලිය. මුලින් තිබූ පෙරගම් යන්න තවදුරටත් විකාශනය වීමෙන් පෙර නම් යන්න ඇති වූ බවක් පෙනේ. (කෙසේ වෙතත් ක්ලෆ් (1887, Sinhala English Dictionary. B Clough) සඳහන් කරන්නේ පෙර නම වෙනුවට පෙරගම හා පෙරකම යනුවෙන් සඳහන් කරන්නේ වැරඳීමකින් බවයි. එහෙත් ඒය සාවද්‍ය පැහැදිලි කිරීමක් බව පෙනෙන්නේ විවාහ ලේකම් කිරීම ආරම්භ කරන ලද්දේ පෘතුගීසි සමයේ වීමත්, පෙර කී පෘතුගීසි වචනය පහසුවෙන් පෙරගම් යනුවෙන් සිංහලට පැමිණීමට ඇති හැකියාවක් ඇති නිසාය).

"අද පෙරගං - හෙට කිරිබත්" යනුවෙන් රබන් පදයක් ඇති අතර, ඉන් කියැවෙන්නේ අද සිදුවන පෙරගම් දීම හා පසුව කසාද බැඳීම වෙනුවෙන් පැවැත්වෙන මංගල උත්සවය පිළිබඳව බව පෙනේ.

පෙරගම ප්‍රකාශය හෙවත් පෙරනම් පත්‍රය යනු ඒ ලේඛනයයි.


*අදාළ පුද්ගලයින්ගේ නම් ඔවුන්ගේ පියවරුන්‌ගේ නම්, ගම් කුලය යන විස්තර මේ පුස්කොළ රෙජිස්ටරයේ ඇතුළත් වුවත් මෙහි ඒවා ආවරණය කර ඇත.


ධනේෂ් විසුම්පෙරුම
2024-09-08

Wednesday, July 31, 2024

අපේ පුස්තකාලවල ඉරණම

ධනේෂ් විසුම්පෙරුම
2024-07-31

කලක් තිස්සේ ටික ටික ලියමින් සිටි මේ සටහන අවසන් කිරීමට මට සිතුනේ මෑත දිනයක මගේ මිතුරෙකු පැවසූ කරුණක් නිසාය. ඔහු කී පරිදි, ඔහු "දැන් පොත් ගන්නේ අඩුවෙන්"ය. ඊට හේතුව ලෙස ඔහු කීවේ, ඔහුගෙන් පසුව පොත්වලට කුමක් වේද යන්න නොදන්නා බවයි. පරිසරය මෙන්ම ඉතිහාසය හා පුරාවිද්‍යාව යන විෂය පිළිබඳ උනන්දුවක් දක්වන හා විශිෂ්ට දැනුමකින් යුක්ත ඔහුගේ දරුවන්‌ උනන්දුවක් දක්වන අංශ ඊට වඩා වෙනස් බව මම දැන සිටියෙමි.

මම පොත් ගැනීම අඩු කර දැන් කලක් ගත වී තිබේ. මම උනන්දුවක් දක්වන අංශවල වුවත් මගේ විශේෂිත උනන්දුවක් ඇති මාතෘකාවලට අදාළ පොත් මිස සෙසු පොත් දැන් මිලට ගන්නේ නැති තරම්ය. ඒ සඳහා මූලික හේතුව ඉඩ නොමැති වීම වන අතර, දෙවැනි හේතුව වන්නේ ආයතනික පුස්තකාල පරිහරණයට මට ඕනෑ තරම් අවස්ථාව තිබීමයි.

අපි බොහෝ දෙනා පෞද්ගලික පුස්තකාල නඩත්තු කරන්නෙමු. එසේම පොත්වලට ප්‍රේම කරන්නෙමු. අප මෙතරම් ප්‍රේම කරන පොත්වලට, අපෙන් පසුව අනාගතයේ දී අත්වන ඉරණම කෙබඳු විය හැකිදැයි අපි සිතා බැලිය යුතුය. 

පෙර සඳහන් කළ පරිදි මේ ගැන කලක සිට ලිවීමට සිතා සිටියේ සිදුවීම් දෙකක් නිසාය.

ගංවතුරින් පාලනය වූ පොත්
මට මුලින්ම මේ ගැන සිතුනේ කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි පැරණි සිවිල් නිලධාරියෙකු සතු වූ පුස්තකාලයට සිදුවන දේ පිළිබඳව ඔහුම පැවසු කරුණක් නිසාය. ඒ වසර පහලොවකට පමණ පෙර මා ඔහුගේ නිවසට ගිය අවස්ථාවක දී ය. ඔහු සතුව 1950 දශකයේ පමණ සිට එකතු කළ පොත් එකතුවක් විය. ඒ එකතුව දෙස බලමින් ඔහු පැවසුවේ අපේ පොත්වලට අනාගතයේ දී සිදුවන දේ ගැන කලින් සිතිය යුතු බවයි. ඔහුගේ දූ දරුවන් ඒ පොත් පත් පරිශීලනය නොකරන බව ඔහු කීවේ කම්පාවක් නොමැතිවයි. එසේම ඔහු මද සිනහවකින් කීවේ, "මගේ නං පොත් ටික ටික අවුරුදු කීපයකට වරක් නැතිවෙනවා" කියාය. ඒ කෙසේදැයි ඇසු විට ඔහු කීවේ පොත් රාක්කවල පහළ තට්ටුවල පොත් ගංවතුර නිසා විනාශ වී ඉවතලන්නට සිදුවන බවයි. ඒ නිවස පිහිටි අතුරු මාවත බරපතළ ගංවතුර අවස්ථාවල දී වතුරට යටවේ. ඔහු ඒ පොත්වලට කළේ කුමක්දැයි නොදනිමි. අද වන විට ඔහු ඒ පොත්-පත් පමණක් නොව ගිහි ජීවිතයෙන් ද ඇත්ව මහණ දම් පුරන්නෙකි.



නොදන්නා අත්වලට යන පොත්
තවත් අප දන්නා වියතකුගේ වසර හැට හැත්තෑවක් පමණ කාලයක් තිස්සේ එකතු වු පොත් එකතුව ඔහු මියගිය පසු නිවසේ උදවිය විසින් වෙනත් අයට රැගෙන යන්නට දී ඇත. ඔහුගේ දූ දරුවන් අතර ඔහුගේ විෂය පිළිබඳව උනන්දුවක් දක්වන්නවුන් නොවිණි. මට දැනගන්නට ලැබුනු ආකාරයට පොත්වලින් කොටසක් හිතවත් අයෙකුගේ මැදිහත්වීමෙන් රජයේ විශ්ව විද්‍යාලයකට ලබා දී ඇත. එහෙත් අනෙක් පොත් විවිධ පුද්ගලයින් විසින් පැමිණ රැගෙන ගොස් තිබේ. එක් අයෙකු පැමිණ 'වෑන් ලෝඩ් එකක' පුරවා පොත් රැගෙන ගිය බව මට අසන්නට ලැබිණි. 


පොත්වල ඉරණම ගැන ලියැවුන දේමෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් පොත් එකතු දෙක් එරික් ඉලියප්පආරච්චිගේ 'මගේ පුස්තකාල' නම් කෘතියේ එවැන්නක් ගැන සඳහන්ය. ඔහු පළමුවැන්න ගැන මෙසේ කියයි. 

"සුලේමාන් ටෙරසයේ පිහිටි සමාජ විද්‍යාඥයින්ගේ අගනා පුස්තකාලය රාක්ක සමග විකුණා දමනු ලැබුණේය. එදා සුලේමාන් ටෙරසය බස්රාවකට හෝ අලිප්පෝවකට හෝ සමාන විය. "අපේ රටේ දැනුමේ ඉරණමේ හැටි මෙහෙමයි" කවුදෝ කීවේ සුසුම් ලමිනි. මා ඇතුළු ඒ පොත් තුට්ටුවට දෙකට මිලට ගත් සියල්ලන්ට මිනිස් ශිෂ්ටාචාරය විසින් වරෙන්තු නිකුත් කරනු ඇත." (පිටුව 111)

ඉලියප්පආරච්චි තවත් වටිනා පුස්තකාලයක් ගැන ඒ කෘතියේම මෙසේ පවසා ඇත.

"වටිනා පුද්ගලික පුස්තකාල ද මේ ඉරණමට ලක්වන බව පරණ පොත් කඩවලට හා පදික පොත් වෙළෙඳුන්ට අත්සන් සහිතව ලැබෙන පොත්වලින් පැහැදිලි වේ. හිරිහැටියේ අනුර බණ්ඩාරනායකගේ නම සහිත ඉංග්‍රීසි පොත් රැසක් පදික වේදිකාවට පැමිණියේය. මිල දී ගත් නගරය ද ලන්ඩන්, පැරිස්, නිව්යෝක් වශයෙන් ඒවායෙහි ලියා තිබිණි. ඒ පොත් අනුව ඔහු මෙරට විසූ දුර්ලභ ගණයේ නිහඬ ප්‍රාඥයෙකි" (පිටුව 111)

අනුර බණ්ඩාරනායක යනු බොහෝ සේ පොත පත කියැවු අයෙකු බව රහසක් නොවේ. ඉලියප්පආරච්චි පවසන මේ සිදුවීම කරුණාරත්න අමරසිංහයන් දින වකවානු සහිතව ලියා ඇත. ඒ අනුව එය සිදුව ඇත්තේ 2016 අගෝස්තු මාසයේ 09 වැනි අඟහරුවාදා හෙවත් අනුරගේ මරණයේ වසර 8කට පසුවය! අමරසිංහයන් වෙනත්  මාතෘකාවක් ගැන ලියන සටහනක උක්ත සිදුවීම ගැන ලියා ඒ සටහන මෙසේ අවසන් කරයි. 

"මෙරට විශිෂ්ට දේශපාලන නායකයෙකු වීමට උපනිශ්‍රය ඇතිව උපන් අනුර බණ්ඩාරනායකගේ අකල් අභාවයෙන් අනතුරුව ඔහුගේ පෞද්ගලික පුස්තකාලයේ තිබුණු විවිධ විෂය පථයන්ට අයත් අගනා පොත්පත් මහ මග පදික වේදිකාවට කුණු කොල්ලයට විකිණී යෑම කොතරම් ඛේද ජනකද?" (අදාළ සටහන මෙතැනින් කියවන්න)


අපේ වගකීම කුමක් ද?
පොත් යනු දැනුමයි. තවදුරටත් අපට ඕනෑ නැතිනම් සහ අපෙන් පසුව ඒවා පත් විය යුත්තේ, ඒවා පත්විය යුත්තන් අතට බව දැන් මගේ ද අදහසයි. අප ආදරය කළ පොත් නැසෙනු දැකීමට අපි නොකැමැත්තෙමු. ඒ පොත්, අප මෙන්ම ඒවාට ආදරය කරන්නවුන් අතට පත් වීම එක්තරා ආකාරයක සැනසුමකි.

මේ සිතිවිල්ල අනුගමනය කරමින්, මම මගේ පොත් එකතුවෙන් මට අනවශ්‍ය යැයි සිතූ පොත් හා වාර්තා දෙසීයක් පමණ දෙවරක දී බැහැර කරන්නට උත්සාහ දැරීමි. සමහරක් අවශ්‍ය මිතුරන්ට මෙන්ම, සුදුසු යැයි මා සිතූ ආයතනයක පුස්තකාලයකට ද දුනිමි. ඒ ලද අත්දැකීම අනුව මා සිතන්නේ වඩාත් යෝග්‍ය වන්නේ ආයතනයකට ලබාදීම බවයි. 

ඉතින් ඔබත් පොත් ඇසුරු කරන්නෙකු නම්, වටිනා පොත් පත් තිබේ නම්, ඔබෙන් පසු ඒ පොත් පරිස්සමින් කියවන්නෙකු සමීපතමයන් අතර නොමැති නම්, ඔබෙන් පසුව සුදුසු අයෙකුට හෝ ආයතනයකට ඒ පොත් ලබා දීමට කාරුණීක වන්න. 

එසේම ඒ තීරණය කලින් ගත යුතුය. 

ඡායාරූපය - මම මගේ එකතුවෙන් කලකට පෙර බැහැර කළ පොත් අතරින් කිහිපයක්.


Monday, July 29, 2024

ඔබ ආයෙමත් ඇවිදින් - රඹුටන්, මැංගුස්, ගඩුගුඩා හා දූරියන්

Climate Diary - දේශගුණ දිනපොත 06ධනේෂ් විසුම්පෙරුම


ආපසු රඹුටන්, මැංගුස්, ගඩුගුඩා හා දූරියන් පාරට ඇවිත්. ඒක අමුත්තක් නෙමෙයි - මොකද මේ තමයි සාමාන්‍යයෙන් ඔය පලතුරු වෙළෙඳපොලට එන කාලය. ඒ කියන්නේ ජුලි-අගෝස්තු මාස.

ඒත් මේ අවුරුද්දේ මාර්තු මාසෙ දී වගෙත් මේවා වෙළෙඳපොලේ තිබ්බා. ඒකට හේතුව මේ අවරුද්ද මුල් කාලෙදි මේ පලතුරු හැදෙන තෙත් කලාපයට සැලකිය යුතු වැස්සක් වැටීම වෙන්න ඕන. සමහර අවුරුදුවල නොවැම්බර් දෙසැම්බර් මාසවල දීත් මේ පලතුරු සුලබ උනා.

මේක වර්ෂාපතනයේ වෙනස් වීම එක්ක ඇති වන වෙනසක් වගේ පේන්නේ. අපේ වර්ෂාපතන රටාව වෙනස් වෙලා - සාමාන්‍යයෙන් වහින්නේ නැති කාලවල දී පවා සැලකිය යුතු වැස්සක් වැටෙන අවස්ථා දැන් දැන් තිබෙනවා. පලතුරු වාර ගණන දෙකක් තුනක් වීම සාධනීය වෙනසක් විදියට ගන්නත් පුළුවන්. හැබැයි මේක  හැමදේටම සාධනීය නෑ - ගොයම් කපන්න ආසන්නයේ වැටෙන වැස්සෙන් ග‌ොයමට හානි වෙනවා. අනෙක මේක හැම අවුරුද්දකම වෙන්නේ නෑ.

තවත් වැදගත් දෙයක් - මේ පලතුරු ‌හතරම විදේශීය සම්භවයක් ඇති පලතුරු. ගඩුගුඩා හැර අනෙත් තුන වර්තමාන මලයාසියාව ප්‍රදේශයේ සම්භවය වූ පලතුරු වන අතර, ගඩුගුඩාවල සම්භවය පොදුවේ අග්නිදිග ආසියාවේ බව පැවසෙනවා. මේවා 18-19 සියවස්වල දී අපේ රටට හඳුන්වා දීමෙන් පසු රටේ ජනතාව විසින් වැළඳගනු ලැබුවා. 'පලතුරු ලෝකයේ රජු' යැයි පැවසෙන දූරියන් කියන්නේ මේ රටේ වැඩිම මිලකට අලෙවි වන පලතුරක් වෙන්න ඕන. තවත් විදේශීය සම්භවයක් ඇති පලතුරු වන කජු හා අන්නාසි උනත් මිල අධික පලතුරුයි.

මේ වගේ බොහෝ විදේශීය එලවළු හා පලතුරු මිනිසුන් විසින් ලෝකයේ අනෙක් රටවලට ගෙන ගොස් තම පරිභෝජනය සඳහා වවා ගැනීම නිසා ලෝකය පුරා ව්‍යාප්ත වී තිබෙනවා. ඇතැම් එළවළු හා පලතුරු අපට කෙතරම් සමීප ද කියනවා නම්, ඒවා විදේශීය රටවලින් අපේ රටට හඳුන්වා දුන්නාද යන්න විශ්වාස කරන්න පවා නොහැකි තරම්. ඒ පිළිබඳව ලියැවුණු ලිපියක් මෙතැනින් කියැවිය හැකියි (අදාළ මුල් පර්යේෂණ පත්‍රිකාවට සබැඳියක් එහි ඇති) - https://dhaneshw.blogspot.com/2016/07/blog-post.html

2024-07-29


Sunday, June 23, 2024

පාසලෙන් ඈත් වීම

මෙය පසුගිය දා මා දුටු මීම් එකකි. තරමක හාස්‍යයක් දැනුනත් මේ තුළින් පෙන්වන්නේ අද උසස්පෙළ පාසැල් අධ්‍යාපනයේ ඇති අර්බුදයයි. උසස් පෙළ කරන වයසේ ළමුන් පාසැලට නොපැමිණීමයි - කලින් පාසල් යෑම නැවැත්වීමයි.


මා දකින ආකාරයට මෙවැනි තත්ත්වයක් ඇති වන ආකාර දෙකකි.

1.     උසස් පෙළ කරන ළමුන් - මේ අතරින් සමහර ළමුන් පාසලට වඩා උපකාරක පංති සඳහා කාලය වෙන් කර ඇත. ඒ නිසා පාසල් පැමිණෙන්නේ නැත. මදක් විමසීමෙන් බැලුවහොත්, සතියේ දිනවල උදේ වරුවේ උපකාරක පංති ඇති ස්ථාන බොහෝ ඇති බව දැකිය හැකිය.

2.      උසස්පෙළ නොකරන ළමුන් - ළමුන් සමහරක් උසස් පෙළ විභාගය නොකර පෞදගලික සරසරවියක උපාධියක් කිරීමට යොමු වන නිසා පාසැල් පැමිණීම අවශ්‍ය නැත. එහෙත් මෙය වැඩි වශයෙන් නාගරික ප්‍රවණතාවයක් වන අතර එය සිදු කළ හැක්කේ යමක් කමක් ඇති අයටය. (මා දන්නා පරිදි විවෘත විශ්වවිද්‍යාලයේ ද උසස් පෙළ නොමැතිව පදනම් පාඨමාලාවකින් පසුව උපාධියක් කළ හැකිය.)

මෙහි ඇති ගැටලුව වන්නේ උසස්පෙළ අධ්‍යාපනයේ ඇති වටිනාකම හුදෙක් විෂය නිර්දේශයට සීමා නොවීමයි. එය තවත් අංශ ගණනාවකට යොමු වී ඇත. මද කලකට පෙර ව්‍යාපෘති ක්‍රමය මගින් ඵලදායී තත්ත්වයක් ඇති විය. අනෙක් අතට පාසැල් ජීවිතයේ හොඳම කාලය වන්නේ උසස් පෙළ සමය බව මගේ අදහසයි. අප නිදහසේ ක්‍රීඩා, කලා, සමිති සමාගම් ආදියේ අත්දැකීම් ලැබුවේ ඒ කාලයේ දීය. ළමයෙකු සමාජයට නික්මීමට පෙර හැඩගැස්වීමේ ලා මේවා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

රටේ නිදහස් අධ්‍යාපනයක් නැතැයි ඔබට සිතිය හැකිය. නැත, ගාස්තුවලින් නිදහස් වූ අධ්‍යාපන අවස්ථාව සරසවි අධ්‍යාපනය දක්වාම අපේ රටේ ඇත. එහෙත් ගැටලුව ඇත්තේ තමන්ගේම (හා දෙමාපියන්ගේ) කැමැත්තෙන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීමය. එසේම අප මේ කතා කරන්නේ එකේ පංතියේ සිට සාමාන්‍ය පෙළ දක්වා වසර 11ක් නිදහස් හා නොමිලේ අධ්‍යාපනය ලද (එහි වටිනාකම නොදන්නා) ළමුන් පිළිබඳවය.

ධනේෂ් විසුම්පෙරුම2024-06-23

Monday, May 20, 2024

හුදකලා වූ මරණය...

සැතපේ නිසලව
අවසන් නින්දේ
දිවිගමන නිම කළ 
පියෙකු සිය නිවහනේ...

තැන තැන හිඳිත්
සෝබර වතැතිව
පවුලේ අය පමණක්ම
අඳුරුය නිවෙස ද, අහස ද...

ළඟම නෑසියන්
කළණ මිතුරන්
පැමිණෙනු නොහැකිව
ඇමතුම් දෙත්
අසල්වැසියන් ද
එසේම ය...

පැමිණිවුන් ද නොරැඳෙති
නෑ-හිතවතෙකු වුව
වරකට සිටියැකි ගණන
නියම කර ඇති බැවින...

මළකෙනාගේ මතක
නොපැමිණේ සබයට
කතාවට අයෙකු නැත
මීටරේ දුර සිට වුව ද...

පැය විසිහතරකින්
නික්මිය යුතුය
දශක ගණනක්
ඔහු විසූ ‌සෙව‌නෙන්...

ගුණ කියන්නට
උත්සව සභා නැත
ගුණ අසන්නට
මහ සෙනග නැත...

ගමේ පන්සල වසා ඇත
වසංගතය නිසාවෙන්
හිමිවරුන් වැඩමවින
යාබද ගමක විහාරෙන්  
පාංශුකූලයට...

කොරෝනා ගෙන ආ
වෙනසය මේ...
මරණය හුදකලා වූව ද,
වෙන්වීම දැනේ හදවතට..

ධනේෂ් විසුම්පෙරුම
2024-05-20

සටහන- කොවිඩ් වසංගත සමයේ දී, තෙවසරකට ‌පෙර මා සහභාගී වූ මළගෙදරකින් ලත් අත්දැකීමකින් වික්ෂිප්තව, ඇතැම් හිතවතුන් හා ඔවුන්ගේ නෑසියන් ඒ කාලයේ මියගිය බවක් කලක් යනතෙක් ‌නොදැන උන් සිදුවීම් කීපයකින් ජනිත වූ ශෝකයෙන් ලියන ලද්දකි. මෙතෙක් මෙය පළ කරන්නට සිතුනේ නැත.

අවමංගල්‍යයක් යනු මෙරට සමාජයේ සමාජයීය සිදුවීමකි, අවස්ථාවකි. ඒ ගැන මතුවට ලියනට සිතා සිටිමි.

Sunday, May 12, 2024

අධික උණුසුම නිසා සිදු වන මරණ

Historical Notes - ඉතිහාස සටහන් 04
Climate Diary - දේශගුණ දිනපොත 05
ධනේෂ් විසුම්පෙරුම
2024-05-12

අධික උෂ්ණත්වය නිසා සිදුවූ මරණ කීපයක් පසුගිය දිනවල යාපනයෙන් වාර්තා වී තිබේ. මෙවැනි මරණ වරින්වර ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වී ඇතත්, කෙටි කාලයක් තුළ මරණ කීපයක් වාර්තා වීම එතරම් සුලබ නොවේ.

ගතවන 2024 වර්ෂයේ මේ දක්වා ගත වූ මාස කිහිපය අධික උෂ්ණත්වයක් සහිත අවුරුද්දකි. සමස්තයක් ලෙස  එය ලෝකයටම ‌පොදු වූ කරුණකි. එවැනි අධික උෂ්ණත්වයක් ඇතිවන තත්ත්වය හමුවේ අපේ රටේ ඇතැම් ප්‍රදේශ හා ප්‍රජාවගේ ඇතැම් කණ්ඩායම් (වැඩිහිටියන්, රෝගීන් හා කුඩා ළමුන්) වැඩි අවදානමකට ලක් විය හැකිය. මේ පිරිස් හා එළිමහනේ කටයුතු කරන පිරිස් විසින් ගත යුතු පියවර කාලගුණ විද්‍යා හා සෞඛ්‍ය අංශ දක්වා ඇත්තේ සැලකිය යුතු කලක සිටය. ඒ අධික උෂ්ණත්වය නිසා පුද්ගලයින්ට ඇති විය හැකි තාප ආඝාතය වැළැක්වීම පිණිසය.

අතීත වාර්තා

මේ තත්ත්වයට අතීතයේ දී ලක් වූ විදේශිකයන් ගැන ද වාර්තා වී ඇත. එසේ මියගිය සමහරුන්ගේ සුසාන ස්මාරක ද රටේ කිහිප ස්ථානයක හමුවේ. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ අරිප්පුවේ පරණ ලන්දේසි බලකොටු භූමියේ කෙලවරක පිහිටා ඇති සුසානයි.

චාල්ස් ලේස්ගේ සුසානය (1878)


SACRED
TO THE
MEMORY OF
CHAELES LEYS
OF THE
ORIENTAL BANK CORPORATION
WHO DIED OF SUNSTROKE
AT
MARISIKADDI
ON THE 14TH APRIL, 1878
AGED 35 YEARS

මෙහි වැඩි විස්තර සඳහන් කරන ජේ.පී. ලුවිස්ට [1, පි. 249] අනුව, චාල්ස් ලේස් මරිච්චිකඩ්ඩි වෙත පැමිණ ඇත්තේ දඩයම් චාරිකාවකය. පෙර දින යාපනයේ සිට මරිච්චිකඩ්ඩියට ඔහු පැමිණ ඇත්තේ ද ආවරණයක් නොමැති යාත්‍රාවකය. එදින උදෑසන මරිච්චිකඩ්ඩි සිට සැතපුම් හතක් දුර ප්‍රදේශයක දඩයමේ ගොස් ඇති අතරතුර රෝගාතුර වූ බැවින් ආපසු පැමිණ තිබේ. එහෙත් ඔහු මරිච්චිකඩ්ඩි තානායමේ දී එදිනම සවස මියගිය අතර, අරිප්පුවට ගෙන ගිය සිරුර මරණ පරීක්ෂණයකින් පසු අරිප්පුවේ තානායම් භූමියේ කෙලවරක භූමදානය කර ඇත. එහි ‌මේ සුසානය ගොඩ නගා තිබේ (අරිප්පුවේ ඕලන්ද කොටුව පසුකලක තානායමක් ලෙස භාවිත කරන ලදි. තානායම් ගොඩනැගිල්ල ලෙස භාවිත කර ඇති කොටුවේ පිහිටා තිබූ ගොඩනැගිල්ලේ හා අට්ටාලවල නටබුන් එහි ඇත.)

මේ හැර අධික උෂ්ණත්වය නිසා මියගිය බවට සුසාන පුවරුවල සඳහන් වන දෙදෙනෙක් පිළිබඳව ජේ. පී. ලුවිස් සිය List of inscriptions on tombstones and monuments in Ceylon කෘතියේ සඳහන් කරයි. ඒ අය මියගිය දින හා සුසාන පිහිටා ඇති ස්ථාන මෙසේය.

  1. ඇන්ඩෘ මැක්ගිල් (36) - මොහු තාප ආඝාතය නිසා අඹගමුවේ, රොසැල්ල වත්තේ දී මියගියේ 1873.11.13 දිනය (මහනුවර ගැරිසන් සුසාන භුමියේ පිහිටි සුසානයකි, ලුවිස්, පි.319)
  2. ඇලිස් මෝඩ් මේසි ස්වින්නර්ටන් (ළදැරියකි) - දැරියගේ සුසානයේ ඇති පාඨයක් මත ඇය තාප ආඝාතයෙන් මියගිය බව ලුවිස් පෙන්වා දෙයි. ඒ 1876 මාර්තු 7 දින දීය. (පුස්සැල්ලාවේ ශුද්ධ ත්‍රිත්ව සුසානභූමියේ ඇති සුසානයකි, ලුවිස් පි. 348)
මේ ගැන විමසනවිට පෙනී ගියේ 1876-78 කාලය මෙන්ම 1873 ද එල් නිනෝ තත්ත්වය පැවති වර්ෂයක් වූ බවයි. ඒ අතරින් 1876-78 කාලය ඉතා බරපතළ එල් නිනෝ තත්ත්වයක් පැවති බව මයික් ඩේවිස්ගේ කෘතියේ ක්වා තිබේ [2]. අනෙක් අතට පසුව සඳහන් මරණ දෙකම ඇති වී තිබෙන්‌නේ උණුසුම අඩු දේශගුණයක් ඇති කඳුකර ප්‍රදේශවලය.

අධික උෂ්ණත්වය නිසා සිදු වූ ඉහත මරණ අප දන්නේ සුසාන පුවරුවල ඒ පිළිබඳව සඳහන් වන නිසාය. එසේ සඳහන් නොවන, ඒත් අධික උෂ්ණත්වය නිසා ඇති වූ මරණ කෙතරම් සිදුවන්නට ඇත්දැයි අපි නොදනිමු. වඩා ශීත දේශගුණයකට හුරු විදේශිකන්ට මෙන්ම මෙරට වැසියන්ට ද කලින් කල ඇති වන ඒ අධික උෂ්ණ තත්ත්වයට දරාගැනීමට අපහසු වන්නට ඇත.

මූලාශ්‍රය 

[1] Lewis, J. P. (1913) List of inscriptions on tombstones and monuments in Ceylon, of historical or local interest, with an obituary of persons uncommemorated, Colombo: (Printed by) H. C. Cottle. (සබැඳිය - වෙබ් පිටුව, PDF ගොනුව (‌26MB))

[2] Davis, Mike (2001) Late Victorian holocausts: El Niño famines and the making of the third world, London, New York: Verso (සබැඳිය - ඇතැම් කොටස් සහිත වෙබ් පිටුව)