Nothing Special   »   [go: up one dir, main page]

Wednesday, January 15, 2025

The Road Trip (Escaping from Monsoon) – Part 02

 

වෙල්කම් බෑක්... දැන් මේ කියන්න යන්නේ අපේ ගමනේ දෙවෙනි දවස ගැන.

 

දෙවෙනි දවසේ උදේ පාන්දරම අපි දෙන්නා ඇහැරලා එදා දවසේ මොකද කරන්නේ කියලා කතාවුනා. පාන්දර කියුවට ඉතින් පාන්දරමත් නෙවේ 7ට විතර. මොකද කලින් දවසේ රෑ 12 විතර වෙනකන් කාලා බීලා නේ ආවේ, ඒ නිසා ටිකක් නින්ද ගියා. කොහොමින් කොහොමින් හරි ඒ කේස් එකෙන් මම පාන්දර ඉර පායනවා බලන්න බීච් එකට යන්නම් කියලා හිතාගෙන හිටපු එකත් මිස් වුනා.

කොහොම හරි අපි දෙන්නට ඒ දවස්ටිකේ එක තැනක ඉන්න බැරි ලෙඩකුත් තිබුනා. මම නිකමට වගේ ඇහුවා යමුද ට්‍රින්කෝ පැත්තේ කියලා, තුෂාරිත් එක පයින් කැමතිවුනා. දැන් ප්‍රශ්ණේ  ගිහින් නවතින්නේ කොහෙද කියලා. එතකොට තුෂාරිට මතක්වුනා එයාලගේ අක්කා කෙනෙකුගේ පුතෙක් ට්‍රින්කෝ පොලිසියේ ඉන්නවා කියලා. ඒපාර කතාකරා අයේෂ් පුතාට. හැබැයි පොර ඒ වෙනකොට හිටියේ කොළඹ. ඒත් ලොකු ප්‍රශ්ණයක් උනේ නෑ එයා එහෙ හිටපු යාළුවෝ කීප දෙනෙක්ට කතා කරලා අපිට ඉන්න තැනක් ලැහැස්ති කරලා දෙන්නම් කීවා.


එදා වෙසක් පෝය දවස නිසා අපි උදේම පන්සල් යමු කියලා තමයි කතාවෙලා තිබුනේ. අයියලත් ටිකකින් අපි ඉන්න තැනට ආව නිසා අපි කට්ටියම එක වාහනේක දීඝවාපි විහාරයට යන්න පිටත්වුනා, ඩ්‍රයිවර් මම. අපි කවුරුවත් තාම උදේට කාලා හිටියේ නෑ. වෙලාව ඉතිරි කරගන්න නෙනිසා යන ගමන් ඔය ක‌ඩේකින් බන්ස් මොනවා හරි අරගනිමු කියලයි කතාවුනේ. කරුමෙ කියන්නේ එතන ඉඳන් දීඝවාපිය ලඟට යනකල්ම එක ක‌ඩේකවත් කන්න බනිස් තියා සීනි බෝලයක්වත් නෑ කියහන්කෝ.

 

දැන් 8ත් පහුවෙලා. පාර පේන්නේ නැති තරමට බඩගිනියි. එකපාරටම අපි දැක්කා පාර අයිනේ තෙල්, හඳුන්කූරු විකුණන්න හිටිය ඇන්ටි කෙනෙක්ට පිටිපස්සෙන් රොටී, ෂෝර්ට්ඊට්ස් තියන පොඩි ශෝකේස් එකක්. දෙයියො දැක්ක වගේ එතන නවත්තලා ආයෙ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව අර ශෝකේස් එකට බැස්ස අපේ කට්ටිය රොටි කනවා. රොටියෙ බාගයක් විතර බඩට යනකොට ටික ටික ඇස් පේන්න පටන් ගත්තා. මෙන්න බොලේ ඊට ටිකක් එහා පැත්තේ තව කඩයක් තියනවා. එතන උණු උණු රොටි, වඩේ, රෝස්පාන් වගේ නානාප්‍රකාර ජාති තියනවා. හොඳම වැඩේ කියන්නේ අපි ඒ කඩේ පහුකරගෙන තමයි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ.

දැන් මොනවා කරන්නද, අපි මෙතනින් කන්න පටන් ගත්තනේ කියලා අක්කා කියුවත්, මටයි අයියටයි වඩේ එක්ක රෝස්පාන් කන්න පෙරේතකමක් ඇවිදින් හිමිහිට ඒ කඩේ පැත්තට සෙට් වුනා. ගිහින් ආපහු හැරිලා බලද්දී මෙන්න අපේ ඔරිජිනල් වඩේ රෝස්පාන් ලවර් හෙවත් තුෂාරිත් ඇවිදින් කියන්නකෝ අපි පස්සෙන්ම. අපරාදෙ කියන්න බෑ අපි එතනිනුත් වඩේ, රෝස්පාන්, උණු රොටී, පැටිස්, සව්බොර කාලා තේත් බීල අහල පහල බල්ලන්ට කපුටන්ටත් රෝස්පාන් අරන්දීල තමයි පිටත් උනේ. එනතදි අපිට ආනන්ද කියලා පොලීසියේ මහත්තයෙකුත් සෙට්වුනා. බලද්දි එයා අපේ ගමේ. දැන් වැඩ ඒපැත්තේ.

 

ඔන්න ඉතින් බඩ පුරවගෙන බෙහෙතුත් බීපු අපි (අපි හැම එකාම මේ දවස්වල දුවන්නේ බෙහෙත් උඩනේ... කොහෙද ඉතින් කට පරිස්සම් නෑනේ...)  තෙල් මල් හඳුන්කූරු අරගෙන දීඝවාපිය වඳින්න ගියා. දීඝවාපිය ලඟටම යනකොට එතනත් පොඩි අය සෙට් එකක් කරන ෂෝක් මල් දන්සලක්. එතනිනුත් මල් හම්බවුනා. 

දීඝවාපි චෛත්‍යය
 

කොහොම හරි දීඝවාපියේ තව පැයක් විතර ඉඳලා අපි ආපහු එන්න පිටත්වුනා. එහෙම එන අතරමගදී තව බෝඩ් එකක් දැක්කා ‘පරිවාර දීඝවාපිය’ කියලා. කවදාවත් එහෙම තැනක් ගැන අහලවත් තිබුන නැති නිසා ඒ මොකද්ද කියලා බලන්න හැරෙව්වා ඒ පැත්තට.

පරිවාර දීඝවාපිය 

පරිවාර දීඝවාපිය

එතන තිබුන පන්සල ලොකු ගලක් මුදුනේ හදපු චෛත්‍යයක් එහෙම තියන එකක්. ඒත් ගොඩක් පරණයි කියලා තේරුනේ නෑ නමුත් හොඳ නිස්කලංක ගතියක් තිබුනා. හැබැයි පොඩි දේශපාලනේ ගෑවිච්ච සීන් එකකුත් තිබුනා කියලා තේරුනා, මොකද පැත්තක අයින් කරලා තිබුන කටවුට්ස් වගයක් නිසා. අපි එතනිනුත් එලියට එනකොට අයිස්ක්‍රීම් විකුණන මරු ක්‍රියේටිව් පොරක් දැක්කා. අනිත් අය සාමාන්‍ය විදියට විකුණද්දි පොර විකුනුවේ රස කීපයක අයිස්ක්‍රීම් අපි ඉල්ලන වර්ග වලින් මිශ්‍රකරලා කප් එකක දාලා.  අපි ඉතින් මහන්සිය යන්න අයිස්ක්‍රීම් එහෙමත් කාලා ආපහු එන්න පිටත්වුනා.

යනකොට බඩගින්න නිසා නොපෙනුන ලස්සන කුඹුරු යායවල් දැන් තමයි අපිට පේන්න ගත්තේ. ‌පේන තෙක් මානේ තිබුනු  කුඹුරු යායවල් එක්ක ඒ අතරින් යන ඇල පාරවල් සහ ගුරු පාරවල් එක්ක, ඇත්තටම ඒ හරිය නිකන් අපි ඉස්සර දැකලා තියන පරණ ගම් වගේ පෙනුනේ.

කුඹුරු

ඒවත් බලාගෙන, අතර මග හම්බවුන බීම දන්සලකින් බීමත් බීලා අපි ආපහු එනවා. නෑනලා දෙන්නා පිටිපස්සේ සීට් එකට වෙලා බර පයක් දිග අරිනවා. අයියයි මායි නම් ඇත්තටම වැදගත් ශ්‍රාස්ත්‍රීය කතාවක ගියේ. ඒ කියන්නේ ‘මේ කුඹුරු වලට බෙහත් පොහොර ගහන්න ඩ්‍රෝන් පාවිච්චි කරන්න බැරිද?’, ‘ඒවා ඔටෝමේට් කරන්න පුළුවන්ද?’, ‘ඒ වගේ දේවල් ආණ්ඩුවට කරන්න බැරි ඇයි’, ‘එහෙම කරන්න ගියොත් ඒ ප්‍රො‌ජෙක්ට් ෆේල් වෙන්න පුළුවන් හේතු මොනවද?’, වගේ දේවල්. මේ අතරේ අයියා එක පාරටම කියනවා මල්ලි ඔයා නම් මේ පෝය දවසේ ලොකු පිනක් කරගන්නේ... කියලා. අපි බැලුවා එකපාරටම ඒ මොකක්ද කියලා. ඒතකොට පොර කියනවා ‘නෑ අද මම වාහනේ ඩ්‍රයිව් කරානම් මේ වෙනකොට අක්කගෙන් සිය පාරක් විතර බැනුම් අහලා... සෑහෙන කාලෙකට පස්සේ මම මේ කනක් ඇහිලා නිදහසේ ගමනක් යන්නේ’ කියලා.

 

කොහොමින් කොහොමින් හරි අපි ආයෙ කල්මුණේට ඇවිදින්, යන්න කලින් අවසාන වතාවටත් පොඩි ෂොපින් පාරක් ගියා. ඒ පාර ගියේ සපත්තු කඩ වලට. උන්ගේ සර්විස් නම් පට්ටයි හොඳේ. එක කඩේක කොල්ලෙක් මම දුඹුරු පාට සපත්තු දෙකක් බලලා මට නෙ විදිහේ එකක් නෑ කියුවහම මට පස් හය පාරක්ම ඇතුලෙන් එක එක ඩිසයින් ගෙනත් පෙන්නුවා. අන්තිමේ මටම ඇතිවෙලා යන්න කියලා කඩේ දොර ලඟට යනකොට, මෙන්න මූ ආයෙත් පස්සෙන් දුවගෙන ආවා තවත් සෙට් එකක් අරගෙන. අන්තිමේ පොර මට යන්න දුන්නේ මගෙ හිතේ තියෙන්නේ මොනවගේ සපත්තු දෙකක්ද කියලා අහගෙන, කඩේ අයිතිකාරයට ආයෙත් සපත්තු ගෙන්නනකොට ඒ විදියේ ඒවා ගෙන්නන්න නෙ කියලත් කියුවට පස්සෙයි.

 

දැන් අපි කල්මුණෙන් පිටත් වෙන්න නෙ වෙලාවත් ඇවිදින්. දවල්ට අපේ කොල්ලගේ රෙකමන්ඩේශන් එකක් මත සුපිරි බුරියානියක් කෑවා Kaldeen Restaurant කියලා එකකින්. අයිස් ක්‍රීම් කන්න කියලා ගියහම Ice Age වහලා නිසා ඒ සිහිනය බොඳවෙලා ගියා. ඉතින් ඊට පස්සේ අපි අපේ ඊලඟ නැවතුමට යන්න පිටත්වුනා. මඩකලපුව, කල්කුඩා, වාකරේ හරහා ත්‍රිකුණාමලය. යන්න කලින් මගදි බොන්න ප්ලාස්ක් එකට ප්ලේන් ටී එකකුත් හදලා දාගන්න අමතක කලේ නෑ.

යන අතරතුර අයිස්ක්‍රීම්, බීම වගේ දන්සල් කීපයක් හම්බවුනත් ලොකු එකකට කියලා හම්බුනේ ට්‍රින්කෝ කිට්ටුවම තිබුන රොටි දන්සල විතරයි. ඊට අමතරව යන පාර අයිනේ දං, වීර, පලු වගේ දේවල් විකුණන පොඩි එවුන් නම් හරියට හිටියා. හොඳම සීන් එක තමයි උන්ට සිංහල බෑ, අපිට දෙමළ බෑ, දෙගොල්ලන්ටම ඉංග්‍රීසි බෑ. ඒත් ඉතින් යන්තං ඔන්ඩු රෙන්ඩු පුළුවන් නිසා උන්ගෙන් බඩු ගත්තා. ඇත්තටම එදා මට හිතුනා දෙමළ ඉගනගත්තේ නැති එක ලොකු අඩුවක් කියලා.

දන්සල්

කොහොම හරි අපි හවස 5 විතර වෙනකොට ත්‍රිකුණාමලයට සැපත්වුනා. අපිට නවතින්න තිබුනේ Sky Route Lodge කියලා ට්‍රින්කෝ පොලීසිය ලඟම පොඩි තැනක්. තැන හොඳයි, නිදහස්, අළුතින් හදපු රූම්ස්, පොඩී අවුලකට තිබුනේ රූම් තිබුනේ දෙවෙනි තට්ටුවේ වෙචිචි එක විතරයි.

අපි දෙන්නා ටිකක් මහන්සි ඇරලා ට්‍රින්කෝ ටවුන් එක පැත්තට ගියා රෑට කෑම කන්නත් එක්කම. තුෂාරි ඉස්සල්ලාම කලේ ප්ලාස්ටික් බඩු විකුණන කඩේකට ගිහින් තේ හදන්න ලොකු කෝප්පයක් ගත්ත එක. මොකද එයාට උදේ ටී එක බොනකන් පොඩි මොලේ වැඩ කරන්නේ නැති ගතියක් තියනවා. තේක බීවට පස්සේ තමයි සාමාන්‍ය විදියට ඇක්ටිව් වෙන්නේ. මට නම් ඉතින් ඔය කෝකත් එකයි, මම තේ බොනවට වඩා කැමති නොබී ඉන්න.

කොහොමහරි අපි ට්‍රින්කෝ බීච් එක පැත්තට යනකොට මෙන්න තියනවා බීච් එක පාරේ අයින දිගට ‘Street Foods’. අපි දෙන්නත් ඉතින් වාහනේ පැත්තකින් නවත්තලා කොනක ඉඳන් කන්න පටන් ගත්තා. බඩ පුරවගෙන, මහ රෑ කළුවරේ මුහුද පෙනෙන්නේ නැති වුනත් අපි බීච් එකටත් ගියා. හැබැයි සෙනඟ නම් සූ ගාලා.

Street Foods

එතනින් ටිකක් මෙහාට එනකොට තමයි දැක්කේ ටවුන්එක මැද තිබුන ග්‍රවුන්ඩ් එකේ ලොකු තොරණක් තියනවා. කිට්ටුවට යනකොට පේනවා ග්‍රවුන්ඩ්එක ඇතුලට යන තැනත් ලොකු තොරණක් ගහලා ‘සහෝදරත්වයේ වෙසක් මංගල්‍යය’ කියලා. එතන සම්පුර්ණ වෙසක් කලාපයක්. තොරණ, වෙසක් කූඩු මදිවට අලි කානිවල් එකකුත් තියනවා. ඇතුලට යන්න තියා හිතන්නවත් බෑ ඒ තරමට සෙනඟ. වාහනයක් නවත්තන්නවත් ඉඩ නෑ. ඒත් ඉතින් අපේ තුෂාරිත් අර මැප් ගිලපු පොරක් නිසා, එයාගේ මග පෙන්වීම යටතේ මම පිටිපස්සේ සර්විස් එන්ට්‍රන්ස් එකක් වගේ තැනකින් ග්‍රවුන්ඩ් එක ඇතුලට වාහනේ දාලා තොරණ පාමුලින්ම පාර්ක් කරගත්තා කියන්නකෝ. මම හිතන්නේ ඒක තමයි ඒකාලේ අය කියල තියෙන්නේ ‘ඉඳල හිටල හරි වයිෆ් කියනදේත් පොඩ්ඩක් අහන් නේ’ කියලා.

Trinco වෙසක්

සහෝදරත්වයේ වෙසක්

කූඩු

තොරණ

අපි දෙන්නා ඉතින් තොරණ බලලා, වෙසක් කූඩු අධ්‍යයනය කරලා, කානිවල් එකෙත් රවුම් පහ හයක් ගිහිල්ලා, දැන් නම් ඇති හොඳටම මහන්සියි කියලා වෙලාව බලනකොට රෑ 11ටත් කිට්ටුයි. ඒ පාර එතනින් එලියට ආවත්, නිදිමතක් වත් නොතිබුන නිසා ආයෙත් ගියා බීච් එක පැත්තට. ගිහින් බීච් එකේ තිබුන බංකුවක වාඩිවෙලා අයිස් ක්‍රීම් එකක් කන ගමන් ඔහෙ කයියක් ගහගෙන හිටියා. අන්තිමේ හොඳටම නිදිමත වෙලා රූම් එකට එනකොට රෑ12ත් පහුවෙලා.


Trinco Beach @11PM

ව‌ඩේ කඩේ

මේ කතාවේ තියන දුක හිතෙනම කෑල්ල තමයි, අපි දෙන්නා බඩගාගෙන වගේ අර තට්ටු දෙක නැගලා රූම් එක ඉස්සරහට ආවට පස්සේ රූම් එකේ යතුර වාහනේ දාලයි ඇවිත් තියෙන්නේ කියලා දැන ගත්ත එක.

 

හම්මේ... දෙවනි දවස ගැන මේ ඇති. තුන්වෙනි දවස ගැන නිදියලා ඇහැරුනාට පස්සේ කියන්නම්.

Good Night…!

Sunday, December 15, 2024

The Road Trip (Escaping from Monsoon) – Part 01

වෙසක් පෝයට කලින් දවසේ අපි යාළුවෝ සෙට්එක නුවරඑළියේ යන්න දාගෙන තිබුනා. ඒත් ඒ දවස්වල කඩාපාත්වුන වැස්සත් එක්ක අනිත් අය නුවරඑළිය පැත්තට යන්න බයවුනා. මටයි තුෂාරිටයි නම් ඔය අව්ව වැස්ස රෑ දවල් ගානක් නැති වෙච්චිකොට සහ අපි දෙන්නා යන එන තැන් ගැන හොයන්න ඉන්නේ අපි දෙන්නම විතරක් වෙචිචිකොට, ගමනේ ලොකු අවුලක් තිබුනේම නෑ. ඒ උනත් අනිත් අයව බ‌ලෙන් ඇදගෙන යන්න බෑනේ, ගිහින් කරුමෙකටවත් එකෙක්ට හරි හෙම්බිරිස්සාවක්වත් හැදුනොත් අපි එපැයි වගකියන්න... ඒ නිසා ගමන තාවකාලිකව කල් දැම්මා.

හැබැයි ඒ වෙනකොටත් අපි දෙන්න නිවාඩු දාලා (ඇත්තටම නිවාඩු දැම්මේ මම විතරයි, එයාට ඉතින් Thushi’s Kitchen එකට එන ඕඩර්ස් බාරගත්තේ නැතුවහම ඉබේම නිවාඩුනේ) ගමනට ඇඳුම් එහෙමත් පැක්කරලා තිබුන නිසා ඒ දවස්ටික මේ වැස්සේ ගෙදර ඉන්න බෑ කියලමයි අපි දෙන්නට හිතුනේ.

අන්තිමටම කලින්දා හවස අපි දෙන්නා කතාවුනා කොහෙහරි වහින්නේ නැති පැත්තක රවුමක් ගහමු කියලා. එතකොට මතක්වුනා මේ දවස්වල එයාගේ ලොකු අයියලා කල්මුණේ ගිහින් හිටියේ කියලා (මොකද ලොකු අයියගේ කොල්ලා මේ දවස්වල කල්මුණේ Hospital එකේ Intern). අපි දෙන්නත් ඔන්න ඔහේ කල්මුණේ යමු කියලා රෑ අටට විතර අයිය‌ට කතා කරලා කිව්වා අපි හෙට එනවා ඉන්න තැනක් ලෑස්ති කරන්න කියලා. ලොකු මස්සිනත් ඉතින් ආයේ ප්‍රශ්ණ ඇහුවේ නෑ, කියපු පරක්කුවෙන් රූම් එකක් දැම්මා.

ඔන්න දැන් පහුවදා උදේ.

පාන්දර 5ට ලොකු මස්සිනාගෙන් කෝල් එකක්.. “මල්ලී මෙහෙ කිට්ටුව බාර් නෑ.. ගන්න දෙයක් ඔහෙන් අරන් එන්න”. ඉතින් ඒ අතිශය වැදගත් උපදේශයත් ම‌ගේ හිතේ තියාගෙන, ඒකට අවශ්ය අඩුවැඩියත් සම්පාදනය කරගෙන, අපි දෙන්නා උදේ පාන්දර 7ට විතර ගමන පිටත් වෙන්න ලෑස්ති උනා.


වැහිබර අහස පසුකරමින්


අපි දෙන්නත් එක්ක දැන් දක්ෂිණ අධිවේගී මාර්ගය දිගේ ඇදෙනවා. උදේ කෑම Canowin Arcade එකෙන්. කොහොමත් අපේ තුෂාරිට ඔතනින් ‌තේකක් හරි බිව්වේ නැත්නම් නිකං ගමන සම්පූර්ණ නෑ වගේ පොඩි සීන් ඒකක් තියෙනවා. උදේට අපි පට්ට රස ඉඩ්ලි එකක් කෑවා, මට මතක විදියට කඩේ නම FOOD SHARK.


මුල්ම නැවතුම කතරගම කිරිවෙහෙර හා දේවාලය. වෙනදට නම් දේවාලේ පූජා වට්ටියට පළතුරු අරන් එනවා උනාට එදා හදිස්සියේ ආපු නිසා කිරිවෙහෙරට යන පාරේ තිබුන ක‌ඩේකින් පූජාවට්ටියක් ගත්තා. ඒවෙලාවේ සල්ලි මාරු කරන්න තිබුනේ නැති නිසා ඒ කඩේ අය කීවා කමක් නෑ මහත්තයා ආපහු යන ගමන් දීලා යන්න කියලා.

සාමාන්‍යයෙන් අපි ගෙදරින් පළතුරු අරන් යන්නේ ඔය පූජාවට්ටි කඩවල තියන පළතුරු එච්චර හොඳනැති නිසා, මොකද අපිත් ඒකෙන් බාගයක් කනවනේ. හැබැයි මේ පළතුරු ටිකනම් සුපිරි කියන්නේ මම මෑතකදී කාපු රසම අඹයි කෙසෙලුයි.

 

කිරිවෙහෙර

අගය කලයුතු වැඩ


මම ආසම කරන පාරක්... සෙල්ල කතරගම පාර

කොහොමහරි එතන වැඩ ටිකත් ඉවර කරලා අපි දෙන්නා ආපහු ගමන පටන්ගත්තා බුත්තල, මොණරාගල, සියඹලාණ්ඩුව, අම්පාර හරහා කල්මුණේ.

බුත්තලට එන අතරමග එක වාහනයක් අපිට හෙඩ් ලයිට් එකක් එහෙම ගහගෙන ගියා. මමත් ඉස්සරහ පොළීසියෙන් ඇති කියලා හිතලා සියලුම මාර්ග නීති වලට අවනතව යනවා, හැබැයි මෙලෝ යකෙක් නෑ. තවත් ටිකක් යනකොට මෙන්න ඉන්නවා පාර මැද ලොකු අලියෙක්. අරූ මට ලයිට් ගහලා තියෙන්නේ අලියා ඉන්නවා කියන්න. හැබැයි ඉතින් ඔය පාරේ ඉන්න අලි වාහනවලට කරදර කරනවා කියලා තිබුනට, එයා නම් අපිට කිසි කරදරයක් කරේ නෑ.

තුෂාරිනම් කියුවේ කවදාවත් අලියෙක් තවත් අලියෙකුට කරදර කරන්නේ නෑ කියලා.

මොණරාගලින් දවල්ට කාපු අපි දෙන්නා ආයෙ යනවා. ඔහොම යනකොට අමුතු හැඩයේ කන්දක් තියනවා. අපි දෙන්නට දැන් හොයාගන්න ඕනේ මේක මොකද්ද කියලා. අහල පහල කාගෙන් හරි අහන්නත් ලැජ්ජයි වගේ නිසා මම කන්ද හොඳට පේන තැන් තුනක විතර නවත්තලා එක එක ඈන්ගල් වලින් Photo ගන්නවා Google Lance දානවා ඒත් විස්තරයක් හොයාගන්න නෑ. ඔහොම තව ටිකක් දුර යනකොට මෙන්න අපි දෙන්නා ඉබේම කන්ද පාමුලටම ඇවිදින් කියන්නකෝ.. බෝඩ් එකකුත් ගහලා තියනවා ‘ගෝවින්ද හෙල‘ කියලා.


ගෝවින්ද හෙල.... ෆොටෝ ගගහ විඳපු දුකක්.... 

ඉතින් ඒ ප්‍රශ්ණෙත් විසඳගෙන අපි හවස 4-5 වගේ වෙනකොට කල්මුණේට සැපත්උනා. ආපු ගමන් පොඩි වොෂ් එකක් එහෙම දාගෙන අයියලා එක්ක ගියා කල්මුණේ ෂොපින් රවුමක්. බුදු අම්මේ එහෙ තියන ජාති, ඒක නිකන් වෙනම රටක් වගේ. කොළඹ හොයාගන්න බැරි සමහර දේවල් මෙහෙ තියනවා කියන්කෝ. ඒකත් හෙන අඩුවට.

තුෂාරි පහුගිය දවස්වල හොය හොයා හිටපු මොකක්ද ක්රීම් එකක් (ඒක UK වල තියන වර්ගයක්ලු) හොයාගත්තා එතන තිබිලා. ගනන් ගැන කියුවොත්, මෙහෙ සුපර් මාකට්වල 100g රු.3,700ට විතර තියන Nescafe Gold එක එහේ තියනවා 200g රු.3,400යි. කඩේ නම Foreign Mart. එතන බිස්කට්, රටඉඳි, Pistachio වගේ ඇට වර්ග, චීස් වගේ දේවල් වල ඉඳන් කොස්මටික් විතරක් නෙමෙයි එක එක ටූල්ස් වර්ගත් තියනවා.


 අනිත් සීන් එක තමයි එහේ හරියට තියනවා පාවිච්චි කරපු ඉලෙක්ට්රික්/ඉලෙක්ට්රොනික් බඩු ගන්න. ඒ වගේම අළුත්ම බ්රෑන්ඩඩ් ඒවත් තියනවා අඩුවට ගන්න. ඒවගේමයි කෑම කන්න තැන්, Pizza Hut, KFC වගේ ඒව වගේම තෝසේ, බිරියානි, නාන් වගේ ඉන්දියන් කෑම තියන Restaurants වැහි වැහැලා. පට්ට අයිස්ක්රීම් කඩයක් හම්බුනා නම Ice Age.

කොහොම හරි රෑ 7-8 වෙනකන් මේ ෂොපින් රවුම ගිහිල්ලා ඊට පස්සේ ගියා කල්මුණේ බීච් එකට. ඒ වෙලාවට සෙනඟ නෑ. පට්ට නිදහසේ බෝට්ටුවක් උඩ වාඩිවෙලා කයියක් ගහගෙන හිටියා. කොහෙම හරි අපි රෑ 10ටත් බීච් එකේ. ඊට පස්සේ අපි ගියා අයියලා ඉන්න Hospital Quarters එකට, මොකද අක්කා අපිට එහෙ රෑ කෑම ලෑස්ති කරලා තිබුනේ.

 

ජීවිතේට බම්බු ගහන්න කියලා, බෝට්ටුවයි බීච් එකයි විඳින මමයි ‌ලොකු මස්සිනයි...

ලොකු මස්සිනයි මමයි ඉතින් පොඩි 🍺 එකක් බොන ගමන් පැස්ටා කෑවා. පොඩි අවුලකට තිබුනේ අප්‍රේල් මාසේ අසනීප උනා‌ට පස්සේ Doctor පොරට ඇල්කොහොල් පාවිච්චිය තහනම් කරලා තිබුන එක තමයි. හැබැයි ලොකු මස්සිනා නම් කිව්වේ ඔය ඇල්කොහොල් කීවට හැම ඇල්කොහොල් වර්ගයන්ම අගුණ වෙන්නෙ නෑය... ඒ නිසා හරියටම අගුණ වර්ගය මොකක්ද කියලා හොයාගන්න එකින් එක බීලම බලන්න වෙනවාය... කියලා තමයි. අනිත් එක එහෙම ටෙස්ටින් කරන්න මේ වගේ තැනක් තමා හොඳම කියලත් කියුවා... මොකද Hospitalඑක අල්ලපු වැටේ, Doctor ගෙදර ඉන්නවා.

ලොකු නෑනා නම් ටිකක් බැන්නා. ඒත් ඉතින් ඒ බැන්නේ 🍺 වලට මිසක් අපිට නෙවෙයිනේ... ඒ නිසා අපි වැඩිය ගනන් ගත්තේ නෑ.


අපි නැවතුනේ Villa LUXEZ. ෂේප් තැන, වැඩිය ගනනුත් නෑ, නිදහස්, රූම් එහෙම හරි පිරිසිදුයි වගේම හොඳට ඉඩත් තියෙනවා. ඒකේ පොඩි කෑම කාමරයක් තියනවා පැන්ට්රියක් එක්කම. වතුර රත් කරගන්න කෙට්ල්, කෝප්ප, පිඟන්, වීදුරු ඔය ඔක්කොමත් තියනවා. තුෂාරිට නම් හරි සතුටුයි මේක දැකලා, මොකද අපි දෙන්නා අපේ ට්‍රැවලින් තේ හදන බඩු සෙට්එක අරන් ගියාට තේ හදන්න ලොකු කෝප්පයක් ගෙනියන්න අමතක වුනා.

 

පළවෙනි දවසේ විස්තර මේ ඇති. දෙවෙනි දවසේ විස්තර පස්සේ කියන්නම් හොඳේ....

මේ කතාව ගොඩක් දිගයි. මොකද අපි මේ පටන් ගත්ත ගමන නැවතුනේ දවස් 06කට පස්සේ.